ගෞතම සසුනේ පිහිට ලබන්නට
අද අපි ඔබට කියා දෙන්නේ සංයුත්ත නිකායේ පස් වෙනි කොටසට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම ‘අභිසන්ද සූත්‍රය.’ අභිසන්ද කියලා කියන්නේ ගංගාවට. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමයේදී…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පින්වත් මහණෙනි,
සැප ලබාදෙන පුණ්‍ය
ගංගාවල්, සැප ලබා දෙන
කුසල ගංගාවල් හතරක් තියෙනවා.” අපි හැමෝමත්
සැප කැමති අයනේ. ඒ නිසා අපට මේක හොඳ වැදගත් පණිවිඩයක්. ඒ තමයි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල්
හතරක් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය ගංගාවල් හතර ගැන
දේශනා කරනවා,” (ඉධ භික්ඛවේ,
අරියසාවකෝ බුද්ධේ
අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි
ස්ථිර වූ පැහැදීමකින් සමන්විතයි.” එහෙනම් අපට පෘථග්ජන වෙලා මේක කරන්න බැහැ. අපට මේක කරන්න
තියෙන්නේ ආර්ය ශ‍්‍රාවකයන් හැටියටයි.
‘අවෙච්චප්පසාද’
කියලා කියන්නේ මේ වගේ
එකක්. අපි දැකලා තියෙන සමහරුන්ගේ ප්‍රසාදය තියෙන්නේ එක වෙලාවකට විතරයි. ඒක ස්ථිරව
පිහිටපු එකක් නොවෙයි. ඔන්න වෙලාවකට පැහැදීමෙන් කතා කරනවා. ඊළඟට කවුරුහරි කෙනෙක් බැන්නොත්,
ඒ බනින පැත්තට යනවා.
ගිහිල්ලා බනින්න පටන් ගන්නවා. ආයේ තව කෙනෙක් පැහැදීමෙන් කතා කළොත් ආයෙමත් ප්‍රශංසා
කරනවා. එයා වෙලාවකට බනිනවා, වෙලාවකට ප්‍රශංසා
කරනවා. ඒකට ‘අවෙච්චප්පසාද’
කියන්නේ නෑ.
බුදුරජාණන්
වහන්සේ ඒ පැහැදීමට ‘පරඬැල’
කියලා වචනයක් පාවිච්චි
කළා. පරඬැල කියන්නේ සුළෙඟ් පාවෙලා යන එකක්. පරඬැල හැම තිස්සේම සුළං හමන පැත්තටයි
යන්නේ. සමහරුන්ගේ පැහැදීමත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.
හමාගෙන යන
පැත්තට යන්නේ ස්ථීරව පිහිටි එකක් නොවන නිසයි. දකුණින් සුළඟ හමනවා නම් පරඬැල උතුරට
යනවා. උතුරෙන් සුළඟ හමනවා නම් දකුණට යනවා. නැගෙනහිරින් සුළඟ හමනවා නම් බටහිරට
යනවා. බටහිරින් සුළඟ හමනවා නම් නැගෙනහිරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, ස්ථීර පැහැදීමක් නැති
කෙනාගේ ශ‍්‍රද්ධාවත් ඒ වගේ කියලා.
බුදුරජාණන්
වහන්සේ ස්ථීරව පැහැදුණ කෙනා ගැන විස්තර කිරීමට උපමාවට ගත්තේ ‘ඉන්ද්‍රඛීලය.’ ඒ කාලේ නගරවල ‘ඉන්ද්‍රඛීලය’ කියලා එකක් තිබිලා
තියෙනවා. ඉන්ද්‍රඛීල කියලා කියන්නේ පොළොවේ අඩි 10ක් 15ක් ගැඹුරට හාරලා, ඒ වගේම පොළොවෙන් උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල්
කණුවකට. ඒක තමයි ශ‍්‍රද්ධාවට උපමාව.
ඔබට මතකද ඒ
ගැන රතන සූත්‍රයේ සඳහන් වෙනවා. (යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා) පොළොවේ ගැඹුරට හාරලා
ඉන්ද්‍රඛීලයක් හිටෙව්වද, (චතුබ්භි
වාතේභි අසම්පකම්පියෝ) හතර දිශාවෙන්ම හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සොලවන්න බැහැ.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ධර්මය කෙරෙහි පහදින්න
ඕනෙත් ඒ විදිහටයි. ශ‍්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ඒ
පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. යමෙකුට අන්න ඒ වගේ පැහැදීම ඇතිවුණා
නම්, ඒක තමයි
(පුඤ්ඤාභිසන්ද) පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි (කුසලාභිසන්ද) කුසල ගංගාව. ඒක තමයි
(සුඛස්සාහාරා) සැපය ඇතිකරල දෙන දේ.
බුදුරජාණන්
වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේම අපට පෙන්වා දී
තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං (මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ) අරහං, සම්මාසම්බුද්ධෝ,
විජ්ජාචරණ සම්පන්නෝ,
සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම
සාරථී, සත්ථා
දේවමනුස්සානං, බුද්ධෝ,
භගවා… එතකොට එතැන ගුණ නවයයි.
එයාගේ හිතේ ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීම තියෙන්නේ මේ ගුණ නවය පිළිබඳවයි. එයාගේ ඒ
පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අන්න ඒ වගේ
පැහැදීමක් ඇතිවුණා නම්, ඒක පළවෙනි
පුණ්‍ය ගංගාවයි, කුසල්
ගංගාවයි. ඒ හේතුවෙන් එයාට සැපය ගලාගෙන එන ජීවිතයක් ලැබෙනවා.
අපි දැන් ඒ
බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය තේරුම් ගනිමු. පළවෙනි බුදුගුණය ‘අරහං.’ බලන්න, උන්වහන්සේ මීට අවුරුදු
2600 කට කලින්
සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. ඒ සම්මා සම්බුද්ධත්වය පවා දෙවැනියට ගිහින් ‘අරහං’ කියන ගුණය ඉස්සරහට
ඇවිල්ලා තියෙනවා. ‘අරහං’ කියන වචනයේ තේරුම
උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියන එකයි.
රහතන් වහන්සේ
නමක් කියන්නේ, උන්වහන්සේ
හිතේ හටගත් කෙලෙස් ප‍්‍රහාණය කරපු කෙනෙක්. කෙලෙස් කියලා කියන්නේ අපේ සිත කිලිටි
කරන දෙවල් වලට. යම් වෙලාවක අපේ සිත කිලිටි වුණොත් කිලූටු වෙන්නේ එක්කෝ රාගයෙන්,
එහෙම නැත්නම්
ද්වේෂයෙන්, එහෙමත්
නැත්නම් මෝහයෙන්. මේ තුන සම්බන්ධ වෙලා තමයි අනෙක් කෙලෙස් ඔක්කෝම හටගන්නේ.
යම් වෙලාවක
අපේ සිත ඒ වගේ ක්ලේශයකින් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අපේ වචනත් අපිරිසිදු වෙනවා.
අපේ ක්‍රියාත් අපිරිසිදු වෙනවා. ඒක හරි පැහැදිලිව දකින්න පුළුවන්. ලෝකයේ යම්
කෙනෙකුගේ කටින් අපිරිසිදු වචනයක් පිටවෙනවාද, ඒ හිත කිලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙකුගේ
කයින් අපිරිසිදු ක්‍රියාවක් සිදුවෙනවාද, ඒ සිත කලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් යම්
මොහොතක අපිරිසිදු දෙයක් හිතනවාද, එයත් හිතට අපිරිසිදු දෙයක් එකතු වූ වෙලාවක්. යම්කිසි
කෙනෙක් මේ සියලු අකුසල් සහමුලින්ම නැතිකළාද, උන්වහන්සේට ‘රහතන් වහන්සේ’ කියලා කියනවා. ඒ විදිහට ගුරූපදේශ නැතුව,
තමන් තනිවම සොයාගත්
වැඩපිළිවෙල තුළින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම නිසා, උන්වහන්සේ ඉස්සෙල්ලාම අරහත්වයට පත්වුණා.
අරහත්වයට
පත්වූ ජීවිතය සුවිශේෂී වූවක්. අපි අපේ ජීවිත ගනිමු. අපි ඇහෙන් රූප බලනවා. කනෙන්
ශබ්ද අහනවා. නාසයෙන් ආඝ‍්‍රාණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. හිතින්
හිතනවා. අපේ ජීවිත තුළ සිදුවෙන මෙම සිද්ධිදාමය බුදුරජාණන් වහන්සේ වදාළේ, වැලි ගොඩකට තෙල්
වත්කළා වගේ කියලයි. ඒ කියන්නේ අපේ හිතට මේවා උරාගන්නවා. ඇහින් රූප බලන කොටත්
එහෙමයි. කණින් ශබ්ද ඇහුණත් එහෙමයි. ඒ දේවල් අපේ ජීවිතයේ රැස්වෙන්නේ මතකයක් හැටියට
විතරක් නෙවෙයි, කෙලෙස් හදන
අරමුණු හැටියටයි.
රහතන්
වහන්සේගේ ජීවිතය ඊට හාස්පතින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ සිත උපමා
කළේ නෙළුම් පතකටයි. නෙළුම් කොලේට වතුර බිංදුවක් දැම්මොත් එය නෙළුම් කොලේට උරාගන්නේ
නෑ. ඒ වතුර බිංදුව නෙළුම් කොලේ එහෙට මෙහෙට කරන කොට ඔහේ යනවා. ඇල කළොත් වැටෙනවා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රහතන් වහන්සේගේ සිතත් ඒ වගෙයි කියලා.
රහතන් වහන්සේ
ඇහෙන් රූප දැක්කා කියලා ඒ රූපය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. කනෙන්
ශබ්ද ඇහුවා කියලා ඒ ශබ්දය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. නාසයෙන් ආඝ‍්‍රාණය
කළා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ ගඳ සුවඳ හිතට යන්නේ නෑ. දිවෙන් රස
වින්දා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ රස හිතට යන්නේ නෑ. කයට පහස ලැබුණා
කියලා ඒ පහස, කෙලෙස් හටගන්න
අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. හිතට අරමුණු හිතුණා කියලා කෙලෙස් හටගන්න අරමුණකට
සම්බන්ධ නෑ. ඒ තමයි අරහත්වයට පත් වූ සිතක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාම වැඩසිටියේ මේ
ස්වභාවයෙන්. උන්වහන්සේගේ ජීවිතය පුරාම තියෙන්නේ ඒ නිකෙලෙස් බවයි.
අනාථපිණ්ඩික
සිටුතුමා පනස්හතර කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා ජේතවනාරාමය
හැදුවනේ. එහි බුදුරජාණන් වහන්සේට වැඩඉන්න, වහලවල් හතක් තියෙන සුදු හඳුන් කුටියක්
හැදුවා. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි කරුණාවෙන් මේ කුටියේ
වැඩසිටියා. නමුත් වස් කාලය අවසන්වුණාම උන්වහන්සේ ඒ කුටියෙන් එළියට බැහැලා චාරිකාවේ
වඩින්නේ හංසයෙක් විල අත්හැරලා යනවා වගෙයි. නැවත ඒ දිහා හැරිලවත් බලන්නේ නෑ.
සමහර දවස්වලට
උන්වහන්සේ වැඩඉන්නේ ගහක් යට. සමහර දවස්වලට ගල් ලෙනක. උන්වහන්සේට මේ කිසිම තැනක
වෙනසක් නෑ. බලන්න, ධර්මය අවබෝධ
කරපු කෙනාගේ ස්වභාවය. ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම් ඒ සුදු හඳුන් කුටියට ගිහිල්ලා
නිතර අතගායි, බිත්ති ඉඹියි,
අත ගගා ‘හරි අගෙයි’ කියයි. නමුත් බලන්න,
කෙලෙස් කිසිවක් නැති
අපගේ ශාස්තෘන් වහන්සේ කොයිතරම් පිරිසිදු පිවිතුරු බවකින් ජීවත් වුණාද?
අනිත් කාරණය
තමයි, උන්වහන්සේ ඒ
විදිහට අරහත්වයට පත්වුණා කියලා ලෝකයට හෙළිදරව් කළාම ඒක සාමාන්‍ය ලෝකයාට අභියෝගයක්
වුණා. ඉන්දියාව වගේ රටක ‘මම අරහත්වයට
පත් වූ කෙනෙක්’ කියලා ප්‍රසිද්ධියේ
කියන එක කොච්චර අභියෝගයක්ද? උන්වහන්සේ
අරහත් නෙවෙයි කියලා කියන්න අනිත් අය කොච්චර මහන්සි ගන්න ඇද්ද? දැන් අපට ඒක තේරෙන්නේ
නෑ.
මං ඒකට
උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේට කෙලෙස් තියෙනවා කියලා කියන්න දේවදත්ත
කොච්චර මහන්සි ගත්තද? දේවදත්ත
නාලාගිරි ඇතාට හොඳටම රා පොවලා දරුණු කරලා එව්වා. සමහර විට දේවදත්ත මිනිසුන්ට
කියන්න ඇති “දැන් බලාපල්ලා…
ඔන්න ඇතා එනවා. අඩියක්
හරි පස්සට ගියොත් මෙයා රහතන් වහන්සේ නමක් නෙවෙයි! එහෙනම් හිතේ බය හටගන්නවා. මම ඒක
ඔප්පු කරල පෙන්වන්නම්..” කියලා. හිස්
මිනිස්සු මේ වගේ දේවල් කරනවනේ.
දැන් මේ ඇතා
කුලප්පු වෙලා බඩුමුට්ටු පොළොවෙ ගහගෙන, කඩවල් කඩාගෙන, ගස් කොළන් උදුරාගෙන පාර දෙවනත් කරගෙන
වේගයෙන් ඉදිරියට එනවා. (අපි පාරේ යන කොට ඇතෙක් නිකං හොඬේ වැනුවත් අපි ගැස්සෙනවානේ)
බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමඟ ඒ පාරේ ඉස්සරහට වඩිනවා. ආනන්ද ස්වාමීන්
වහන්සේ ‘මේ ඇතා
බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න කලින් මම මගේ ජීවිතය පූජාකරනවා’ කියලා කල්පනා කරලා
ඉස්සරහට පැන්නා. (බලන්න බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණාද?)
ඒ වෙලාවේ බුදුරජාණන්
වහන්සේ “ආනන්ද,
පිටිපස්සට වෙන්න…
පිටිපස්සට වෙන්න…
කිව්වා. බුදුරජාණන්
වහන්සේ එක පියවරක් පිටිපස්සට තිබ්බේ නෑ. බලන්න නිකෙලෙස් සිතක ස්වභාවය. මේ
සිද්ධියෙන් අපට පේන්නේ උන්වහන්සේගේ නිකෙලෙස් ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ
ජීවිතය පුරාම ඒ අරහත්වය දකින්න තියෙනවා. අද අපට එය දකින්න ලැබෙන්නේ බුද්ධ
දේශනාවලින් පමණයි.
බුදුරජාණන්
වහන්සේ පහළ වුණාට පස්සේ බ්‍රාහ්මණ සමාජය කඩාගෙන වැටුණා. ඒගොල්ලන්ගේ බල ඔක්කෝම
බිඳිලා ගියා. ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සේම කැමති වුණේ විනාශයක් කරන්නයි. නමුත්
බුදුරජාණන් වහන්සේ හැමතිස්සේම, ඒ සෑම දේකටම
කිසි බියක්, තැතිගැනීමක්,
ඇලීමක්, ගැටීමක්, ශෝකයක් නැතුව මුහුණ
දුන්නා.
අපි ඒ
කාරණයෙන් සිත පහදවා ගන්න ඕන, ‘අපි සරණ ගිය
බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක්’ කියලා. ඒකට තමයි ‘ශ‍්‍රද්ධාව’ කියන්නේ. අපට මේ ධර්මය පෙන්වා දෙන අපගේ
ශාස්තෘන් වහන්සේ නිකෙලෙස් හිතකිනුයි ජීවත්වුනේ කියලා අපි බුදුරජාණන් වහන්සේ ගැන
හිත පහදවාගන්න ඕන. ඒ හිත පහදවාගැනීම තමයි අපේ ජීවිතයේ පුණ්‍ය ගංගාව බවට පත්වෙන්නේ.
බුදුරජාණන්
වහන්සේගේ දෙවැනි සම්බුදුගුණය ‘සම්මා
සම්බුද්ධ.’ බුදුරජාණන්
වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියන්නේ ගුරූපදේශ
නොමැතිව ධර්මාවබෝධ කළ නිසයි. මේකේ විශේෂත්වය බලන්න, අද වන විට සූත්‍ර පිටකයේ බුදුරජාණන්
වහන්සේගේ බුද්ධ දේශනා දහ අටදාහක් පමණ තියෙනවා. ඔබට කවුරුහරි දේශනයකට ආරාධනා කළොත්
ඔබ පොත් කීයක් බලනවද? ඊට පස්සේ ඔබ
ඒකට වුවමනා සටහන් ගහගෙන සූදානම් වෙනවනේ.
නමුත් කිසිම
දෙයක් නැති, පොතක්
පැන්සලක් ලඟ නැති බුදුරජාණන් වහන්සේ පාරේ ඇවිදගෙන යනවා. මහා පඬිවරු, වේදයේ කෙල පැමිණි බ්‍රාහ්මණයෝ,
එක එක විෂයන් දන්න අය
ප‍්‍රශ්න හදාගෙන උන්වහන්සේ ලඟට එනවා. උන්වහන්සේ බොහොම සුළුවෙන් කතා කරලා බොහොම
පහසුවෙන් ඒවා විසඳනවා. උන්වහන්සේ අපට හිතන්න බැරි විදිහේ කල්පනාවලින් උත්තර දෙනවා.
ඒකයි මේකෙ විශේෂත්වය.
එක දවසක්
බුදුරජාණන් වහන්සේ ළඟට තාපසයෙක් ආවා. ඇවිල්ලා මෙයා කියනවා “ස්වාමීනී, මම මෙන්න මේ
දෘෂ්ටියෙන් යුක්තයි. මම කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ..” ඒ වෙලාවේ බුදුරජාණන්
වහන්සේ අහනවා “කිසිම
දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ’ කියන ඔය
දෘෂ්ටියට ඔබ රුචි කරනවා නේද?” කියලා. බලන්න
කොච්චර මානසික කල්පනාවට එනවද කියලා. එතැනින් තමයි එයාට ධර්මය විවෘත වුණේ.
බුදුරජාණන්
වහන්සේගේ බුද්ධ දේශනාවලින් අපි ඉගෙනගන්න දේවල් ලෝකයේ වෙන කිසිම විෂයක නෑ. කිසිම
විෂයකින් හොයන්නත් බෑ. වර්තමානයේ නම් ඔය එක එක්කෙනා බුදුදහමයි, විද්‍යාවයි එකයි කිය
කියා දඟලනවා අපට පේනවා. ඒ දඟලන දැඟලිල්ල හරි අසරණ දැඟලිල්ලක්. ඒක තමන්ට ශ‍්‍රද්ධාව
නැතිකම වහගන්න දඟලන දැඟලිල්ලක්.
මේ බුද්ධ
දේශනා තුළින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා අවබෝධ කරපු
චතුරාර්ය සත්‍යය අපට ඉගෙනගන්න ලබෙන්නේ. ඊළඟට හැම බුද්ධ දේශනාවකම හරිම විශේෂයක්
තියෙනවා. ඒ තමයි හරිම අලුත්. අලුත් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ කලින්
අහපු නැති දේටයි අයිති. ඒකට හේතුව තමයි, බොහෝ විට සාමාන්‍ය ලෝකයාට වැටහෙන දේවල් හැම
එකක්ම සම්බන්ධ වෙන්නේ මොකක් හරි මතයක් සමඟයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය
සම්පූර්ණයෙන් සම්බන්ධ අවබෝධයක් සමඟයි. එතකොට මතවාදයත් එක්ක සම්බන්ධ එකයි, අවබෝධයක් එක්ක සම්බන්ධ
එකයි දෙකක්.
එක දවසක්
කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ ඕනෑම කෙනෙක්,
ඕනෑම ප්‍රශ්නයක්
ඇහුවොත් දෙන්න තියෙන හරිම උත්තරේ දෙනවා. ඒක කොහොමද කරන්නේ? ‘මගෙන් මේක ඇහුවොත් මම
මේ උත්තරේ දෙනවා’ කියලා භාග්‍යවතුන්
වහන්සේ කලින් කල්පනා කරලා තියාගෙන ඉඳලද එහෙම උත්තර දෙන්නේ?” කියලා අසා සිටියා.
බුදුරජාණන්
වහන්සේ ඒ වෙලාවේ හරි ලස්සන උපමාවක් වදාළා,
“ඔබ වාහන හදන
බාස්ලා ගැන දන්නවාද?” ”දන්නවා”
කිව්වා.
“වාහනයේ හැම
කෑල්ලක්ම හදපු බාසුන්නැහේ ඒ වාහනය ඔක්කොම සකස් කළාට පස්සේ කෙනෙක් ‘අනේ බාසුන්නැහේ,
අර අතන ප්‍රශ්නයක්
තියෙනවා. මොකක්ද ඒ?’ කියලා ඇහුවොත්
ඒකට උත්තර දෙන්න එයාට පොත් බලන්න ඕනද? කල්පනා කර කර ඉන්න ඕනද?”
ඒ අහන හැම ප්‍රශ්නයකටම
තථාගතයන් වහන්සේට විසඳුම එන්නෙත් ඒ විදිහටයි. ඒ, හැම දෙයක්ම අවබෝධ කළ නිසයි. මේ හැම දෙයකින්ම
මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයයි.
එක තැනක
තියෙනවා, බුදුරජාණන්
වහන්සේ යම රජ්ජුරුවො හිතපු එකක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
“මහණෙනි, යම රජ්ජුරුවන්ට හිතුණා,
‘අනේ මේ සත්වයන්
පව්කරලා මෙහෙ ඇවිල්ලා දුක් විඳිනවා. අනේ… මට මේතැනින් චුතවෙලා, බුදු කෙනෙක් පහළ වුණ
අවස්ථාවක මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා, ඒ බුදුරජාණන් වහන්සේ ගාව මහණ වෙලා, ධර්මය අවබෝධ කරන්න
ඇත්නම් කොයිතරම් හොඳද..?’ කියලා.
ඉතින් ඒ
විදිහට නිරයේ විස්තර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, මම කාගෙන්වත් අහලා
නෙවෙයි මේ කියන්නේ. මම අවබෝධයෙන්ම මේගොල්ලන්ගේ මේ තත්වය දැක්කා” කියලා. එතකොට
බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ තව කෙනෙකුගෙන් අහලා කියන කතාවක් නෙවෙයි,
අත්දැකීමෙන් කියන
කතාවක්. ඒක මේ දේශනා පුරාම දකින්න ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ
මොකටද කියන කාරණය අපි ඒ ඇසුරෙන් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ
කාරණය තමයි, උන්වහන්සේගේ
පළමුවෙනි ගුණයෙන්ම මතුවෙන්නේ. ඒ තමයි නිකෙලෙස් වීම.. අරහත්වයට පත්වීම.. සසර දුකින්
මිදීම..
බුදු කෙනෙක්
පහළ වෙන්නේ ලෝකයට චතුරාර්ය සත්‍යය ධර්මය ලබාදෙන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය
අවබෝධ කිරීමේදී ‘සෝවාන්,
සකදාගාමී, අනාගාමී, අරහත්’ කියලා පියවර හතරක්
තියෙනවා. බුදුරජාණන් වහන්සේ, “පළමු පියවරේදී
මෙන්න මෙහෙම හිතේ දියුණුව ඇතිවෙනවා. දෙවැනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වැනි පියවරේදී
මෙහෙම වෙනවා. හතරවැනි පියවරේදී මෙහෙම වෙනවා” කියලා මේ ඔක්කෝම දේශනා කළේ අවබෝධයෙන්මයි.
උන්වහන්සේගේ
සම්බුද්ධත්වය මේ සෑම දේශනාවකම දකින්න ලැබෙනවා. ඒ නිසා “අනේ මගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා
සම්බුද්ධයි” කියලා අපි ඒ
බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕන.
ශ‍්‍රද්ධාවන්ත
පින්වතුනි,
සත්බුදු
වන්දනාව බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තිබුණු වන්දනාවක්. මේ ගැන හොඳ සාක්ෂියක්
ඔබට දඹදිව ගියපු කාලෙක දකින්න පුළුවනි. ඒ තමයි, සාංචියේ තොරණවල ඒ සත්බුදුරජාණන් වහන්සේලා
සම්බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේලා කැටයම් කරලා තියෙනවා. සත්බුදු වන්දනාව ඒ
කාලේ ඉඳලාම තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවක පිරිස වන්දනාවක් හැටියට පාවිච්චි කරලා
තියෙනවා. වන්දනාවකින් කරන්නේ ගුණ සිහිකරලා ගෞරව දැක්වීම. අපි ඒ සත්බුදු වන්දනාවෙන්
කරන්නෙත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිහිකරලා ගෞරව දැක්වීමයි.
සත්බුදුරජාණන්
වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා හත් නමක්. මේ ගැන තොරතුරු බුදුරජාණන්
වහන්සේ විසින්මයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ඉතාමත්ම දුර්ලභ දෙයක්.
ලෝකයේ මනුෂ්‍ය ජීවිතය ලැබීම කොච්චර දුර්ලභයිද කියන එක ගැන අපි දන්නවනේ. ඉතින්
මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් එච්චර දුර්ලභ එකේ, බුදු කෙනෙක් පහළ වීමේ දුර්ලභකම ගැන අපට කිය
යුතු නැති තරම්.
බුදුකෙනෙක්
පහළ වීමේ දුර්ලභකම ගැන තේරෙන්න නම් අපට ඉස්සෙල්ලා ‘කල්පය’ කියන වචනය ගැන ඉගෙන ගන්න වෙනවා. කල්පය කියන
වචනය ගැන ඔබ අහලා තියෙනවාද? කල්පය කියලා
කියන්නේ අති දීර්ඝ කාල පරිච්ඡේදයකට කියන නමක්.
දවසක්
ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු කීයක්
විතර තියෙනවාද?” කියලා අසා
සිටියා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා “මහණෙනි, කල්පයකට අවුරුදු සීයක්, දාහක්, ලක්ෂයක්, කෝටියක් තියෙනවා කියලා
අවුරුදුවලින් කියන්න බැහැ. කල්පය කියන කාලය ඒ තරම්ම දිර්ඝයි” කියලා.
“ස්වාමීනී,
එහෙම නම් කල්පය
කොයිතරම් දිර්ඝයිද කියලා උපමාවක් කියන්න පුළුවන්ද?” “උපමාවක් නම් කියන්න පුළුවන්. ඔන්න සැතපුම්
හතක් දිග, සැතපුම් හතක්
උස, සැතපුම් හතක්
පළල, ලොකු කළු ගලක්
තියෙනවා. කෙනෙක් අවුරුදු සියයකට වතාවක් මේ කළු ගල සිනිඳු රෙදි කෑල්ලකින් පිහදානවා.
කාලයක් ගියහම ඒ කළු ගල පොළොව මට්ටමට ගෙවෙනවා. පින්වත් මහණෙනි, ඒත් කල්පය ඉවර නෑ.”
බුදුරජාණන්
වහන්සේ කාලය ගැන ඔය කියන දේශනාව අපි තේරුම් ගන්නේ කොහොමද? අපට මේ අලුත් ලෝකයේ
විස්තර හම්බ වෙන්නේ මිලියන ගණන් වලින්නේ. (පෘථිවිය අවුරුදු මෙච්චර පරණයි… ආදී වශයෙන්) අපට මේක
තේරුම් ගන්න බැරි වෙන්නේ ලෝකයේ තියෙන එක දෙයක් නිසයි. ඒ තමයි අනිත්‍යය. ඒ කියන්නේ
රොඩු කෑල්ලක් පවා සොයාගන්න බැරි වෙන්නම මේ ලෝකයේ් හැමදෙයක්ම අනිත්‍යය වෙලා යනවා.
ඒ නිසයි අපට මේ ඉතිහාසය ගැන තොරතුරු බොහොම සීමිත ඤාණයකින් ලැබෙන්නේ.
බුදුරජාණන්
වහන්සේ පෙන්වා දෙනවා, “ඔය කියපු
කල්පය කියන කාල වගේ එ්වා සියයක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ හත් නමයි.”
ගෞතම බුදුරජාණන්
වහන්සේ මීට අවුරුදු 2635 කට කලින්
මිනිස් ලෝකයේ ඉපදුණා. ඒ පටන් මේ දක්වා කෝටි සංඛ්‍යාත ගාණක් මිනිස්සු ඉපදුණා. ඒත්
මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකක් තියෙන එක් කෙනෙක් ඉපදුණාද? මිනිස්සු ඉපදිලා මැරිලා යනවා. අඩු ගාණේ
සක්විති රජ කෙනෙක්වත් පහළ වෙලා නෑ. එතකොට අපට පේනවා, ඒ වගේ ශ්‍රේෂ්ඨ අයගේ පහළවීම කොයිතරම්
දුර්ලභද කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මේ අතීතයේ විස්තර අපට දේශනා කරන්නේ.
බුදුරජාණන්
වහන්සේ දේශනා කරනවා, “මීට කල්ප අනූ
එකකට කලින් මේ ලෝකයේ ‘විපස්සී’
කියලා බුදුරජාණන්
වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු
අසූ දාහයි. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පිරිනිවන් පෑවා.
කාලයක් යනකොට මිනිස්සු ඒ ධර්මයත් අත්හැරියා. ඒ බුද්ධ ශාසනය නැතිවෙලා ගියා.
ඊට පස්සේ කල්ප
හැටක් බුදුවරු නෑ. එතකොට බලන්න, එක කල්පයක
බුදුවරයන් වහන්සේ නමක් පහළ වෙලා පිරිනිවන් පෑවා. ඊට පස්සේ කල්ප හැටක් ලෝකයේ බුද්ධ
ධර්මය නෑ. බුදු කෙනෙක් විසින් අවබෝධයෙන්ම දේශනා කරන මේ ධර්මය ලෝකයේ නෑ. එහෙම නම්
ලෝකයේ වැඩි ධර්මය තියෙන කාල නෙවෙයි, ධර්මය නැති කාලයි. ඒ කල්ප හැට තුළ මිනිස්සු කිසි කෙනෙකුට
සතර අපායෙන් එතෙර වෙන්න පුළුවන් වෙන්නේ නෑ, ඒ ධර්මය නැති නිසයි.
ඊට කල්ප හැටකට
පස්සේ, ඒ කියන්නේ මීට
කල්ප තිස් එකකට කලින් ‘සිඛී’,
‘වෙස්සභූ’ කියලා බුදුරජාණන්
වහන්සේලා දෙනමක් පහළ වුණා. සිඛී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය දේශනා කරලා
පිරිනිවන් පාලා කාලයක් ගියාම ඒ ශාසනය නැතුව ගියා. ඊට පස්සේ ‘වෙස්සභූ’ කියන බුදුරජාණන්
වහන්සේ පහළ වුණා. උන්වහන්සේත් පහළ වෙලා ධර්ම දේශනා කරලා පිරිනිවන්පාලා කාලයක්
ගියාම ඒ බුද්ධ ශාසනයත් නැතුව ගියා.
ආයෙමත් කල්ප
තිහක් බුදුවරයන් වහන්සේලා නෑ. ඒ කල්ප තිහ ගෙවුණට පස්සේ දැන් අපි මේ ගතකරන කල්පය
ලෝකයට උදා වුණා. මේ කල්පයට කියන්නේ ‘මහා භද්‍ර කල්පය’ කියලයි. මේ කල්පයේ ඉස්සෙල්ලාම පහළ වුණේ ‘කකුසඳ’ කියන බුදුරජාණන් වහන්සේ.
ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හතලිස් දාහක්. ඒ
ධර්මයත් අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ මේ කල්පයේම කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ
වුණා. ඒ කකුසඳ, කෝණාගමන කියන
බුදුරජාණන් වහන්සේලා දෙනමම ඉපදිලා තියෙන්නේ කපිලවස්තු ප්‍රදේශයේමයි. ධර්මාශෝක
රජතුමා ඒ තැන්වල කුළුණු පිහිටෙව්වා. දැන් ඒ කුළුණු පැත්තකට කඩා වැටිලා තියෙනවා.
ඊට පස්සේ කාශ්‍යප
කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසිදාහයි. ඊට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සට
බහිනකම්ම බුදුවරයෙක් නෑ. මිනිසුන්ගේ ආයුෂ එකසිය විස්සේදී අපේ වාසනාවට ගෞතම
බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේත් ධර්ම දේශනා කරලා,
පිරිනිවන්පෑවා. ඒ
ධර්මයත් අල්ලගන්න අය අල්ල ගන්නවා. අත්හරින අය අත්හරිනවා.
නමුත් මේ
කල්පය තවම ඉවර වෙලා නෑ. මේ ආයුෂ අඩු වේගෙන අඩු වේගෙන ගිහිල්ලා, ආයුෂ අවුරුදු දහයට අඩු
වෙනවා. ඒත් කල්පය ඉවර වෙන්නේ නෑ. මේ කල්පය ඉවර වෙන්නේ මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ
පහළ වෙලා අවසන් වුණාට පස්සෙයි.
වයස අවුරුදු
දහයට අඩුවෙන කාලෙදී මිනිස්සු සත්තු වගේ මරා ගන්නවා. ඊට පස්සේ ඉතිරිවෙන මිනිස්සු
ධර්මානුකූලව ජීවත්වෙලා ඒ හේතුවෙන් මිනිසුන්ගේ ආයුෂ ටික ටික වැඩිවෙනවා. එහෙම
වැඩිවෙලත් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වෙනකන් බුදු කෙනෙක් නෑ.
අපේ
බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු 2550 වෙනකොට දැන් මිනිසුන්ට ගෞතම බුද්ධ ශාසනයේ
ධර්මය අවබෝධ කරනවා කියන එකත් පුදුමයක්නේ. ”ස්වාමීන් වහන්ස, සෝවාන් වෙන්න පුළුවන්ද? සෝවාන් වෙලා පවුල්
කන්න පුළුවන්ද?” කියලා
මිනිස්සු මගෙන් හරියට අහනවා. ඒ කියන්නේ තියෙන්නේ සැකයමයි. උන්වහන්සේ පිරිනිවන්පාලා
2555ක් වෙනකොට
මෙච්චර විචිකිච්ඡා නම්, තවත් කාලයක්
යනකොට මේක නිකන් විහිළුවක් වෙනවා. (මාර්ගඵල ලබන්න පුළුවන් කියන කතාව දැනටමත් ගොඩක්
දෙනෙකුට විහිළුවක්නේ.)
බෞද්ධයි
කියාගෙන, ශ‍්‍රාවක
වේශයෙන් ඉන්න අයම මේක විහිළුවට ලක්කරනවා නම්, තව කාලයක් යනකොට මේ ගැන කතා කිරීමත්
මිනිසුන්ට විහිළුවක් වෙනවා. ඊට පස්සේ මිනිස්සු මේවා අත්හැරලා ”නෑ… මේ ඔක්කොම ජීවත් වෙලා
ඉන්නකම්නේ. අපි හොඳ දේවල්නේ කරන්නේ. මොකෝ අපි වැරදි කරනවැයි? ඒ නිසා අපි හොඳට ජීවත්
වෙලා කාලා බීලා සතුටින් ඉඳලා, අනුන්ට උදව්
කරලා අපි මැරිලා යනවා” කියලා තනිකරම
ලෞකික වෙනවා. ඒ යුගය වැඩි ඈත නෑ. ඊට පස්සේ ලෝකයාට ආයෙමත් අවස්ථාව නැති වෙලා යනවා.
ඊට පස්සේ අවුරුදු 80,000ක් වෙනකම්
ලෝකයේ ධර්මය නෑ. නිකම් විභාගවලට ලියන්න නම් තියේවි.
මෛත්‍රී
බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙ වෙනකොට අපට කොච්චර ඉපිද… ඉපිද, මැරි… මැරි ඉන්න වෙයිද අපි දන්නේ නෑ. ඒ මෛත්‍රී
බුදුරජාණන් වහන්සේ තමයි මේ මහා භද්‍රකල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී
බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනිවන්පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වුණා
කියමු. ඊට පස්සේ ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කවදාද කියලා කවුරුවත් දන්නේ නෑ. සමහර
විට කල්ප සීයක්, දාහක්
බුදුවරයෙක් නැතිවෙන්න පුළුවන්. මේ ලෝකය ඒ වගේ අපට හිතන්න බැරි තරම්ම පුදුම සහගත
ලෝකයක්.
ඉතින් ඒ නිසා
අපි මේ බුදුරජාණන් වහන්සේලා ගැන දැනගන්න ඕන. ඒ උත්තමයන් වහන්සේලාටයි අපි මේ
වඳින්නේ. සත්බුදුරජාණන් වහන්සේලා ගැන ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක්
හැටියට මේ විස්තර තියෙන්නේ දීඝ නිකායේ ‘මහා පදාන’ කියන සූත්ර දේශනාවේ. ඒ සූත්‍රය බලලා ඕන කෙනෙකුට මම මේ
කියන කාරණයේ ඇත්ත තත්වය, සත්‍යය
විස්තරේ තහවුරු කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේලා ගැන නම් වශයෙන් හරි
සිහිකරලා වන්දනා මාන කරන්න ලැබෙනවා නම් ඒක අපට ලොකු ලාභයක්.
සාමාන්‍ය
ජීවිතයේ තෙරුවන් වැඳලා, සත්
බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන සිරිතක් අපේ බෞද්ධ සමාජයේ තියෙන බවක් මම නම්
දන්නේ නෑ. ඔබ එහෙම එකක් දන්නවාද? එතකොට අපි ‘බෞද්ධ බෞද්ධ’ කිව්වට ප්‍රායෝගිකව අපි කොයිතරම් බුදු දහමින් ඈත් වූ
පිරිසක්ද? ඒ නිසා අපට
බුදු දහමට ළංවෙන්න අනිත් බුදුරජාණන් වහන්සේලා ගැනත් මේ විදිහට දැනගෙන, අපේ ගෞතම බුදුරජාණන්
වහන්සේ හෙළිදරව් කරපු කරුණු කෙරෙහි සිත පහදවාගෙන තිබීම ප‍්‍රයෝජනයි.
අපි කතා බස්
කරගෙන ආ සූත‍්‍ර දේශනාවේ නම “අභිසන්ද සූත්‍රය.”
අපි තවමත් ඉගෙන ගන්නේ
ඒ සූත්‍රයමයි. අභිසන්ද කිව්වේ ගලාගෙන යන ගංගාවට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා
(චත්තාරෝ මේ භික්ඛවේ, පුඤ්ඤාභිසන්දා
කුසලාභිසන්දා සුඛස්සාහාරා) “මහණෙනි,
සැපයට හේතුවන්නා වූ
පුණ්‍ය ගංගාවල්, කුසල ගංගාවල්
හතරක් තියෙනවා” කියලා.
සාමාන්‍යයෙන් ‘පින’ කියන වචනයට වඩා ලොකු අර්ථයක් ‘පුණ්‍ය ගංගාව’ කියන කොට තියෙනවා.
ගංගාවක් කිව්වාම ඒක ඉවරයක් නෑනේ. ගංගාව ඉවරයක් නැතුව ගලනවා. ඒ වගේ ඉවරයක්, අවසන් වීමක් නැතුව
කරුණු හතරකින් කුසල් ගලන බවයි අපි ඉගෙන ගත්තේ. ඒ හතරෙන් එකක් අපි කලින් ඉගෙන
ගත්තා. ඒ තමයි “(ඉධ භික්ඛවේ,
අරියසාවකෝ බුද්ධේ
අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි
නොසෙල්වෙන චිත්ත ප්‍රසාදයකින් යුක්තව සිටියි.” ඒක තමයි පළවෙනි පුණ්‍ය ගංගාව. ඒ විදිහට
නොසෙල්වෙන චිත්ත ප්‍රසාදය ඇතුව සිටින්නේ කොහොමද කියන වග අපි උපමාවකින් ඉගෙන ගත්තා.
අවබෝධයක් නැති ශ‍්‍රද්ධාව පරඬැලක් වගේ කියලත් අවබෝධයකින් යුතු ශ‍්‍රද්ධාව ඉන්ද්‍රඛීලයක්
වගේ කියලත් අපි ඉගෙන ගත්තා. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති කරගන්න
ඒකට පාළි වචනයකුත් ඉගෙන ගත්තා. “සද්ධහති
තථාගතස්ස බෝධිං” අපි ධර්මය
ඉගෙන ගන්න ඕන පිපාසිත මනුෂ්‍යයෙක් වතුර බොනවා වගෙයි. ඔබ හොඳටම පිපාසයෙන් ඉන්න
වෙලාවකට වතුර එකක් හම්බවුණාම ඒක බොන ආකාරයේ, අනිත් වෙලාවට වතුර බොන ආකාරයට වඩා විශේෂයක්
නැද්ද? එවැනි වෙලාවට
අපි වේගයෙන් බීගෙන බීගෙන යනවනේ.
ධර්මය කියන එක
හැම තිස්සේම ලැබෙන එකක් නෙවෙයි. හැමදාම ලැබෙන එකකුත් නෙවෙයි. හැමතැනම ලැබෙන එකකුත්
නෙවෙයි. හැමකාලෙම ලැබෙන එකකුත් නෙවෙයි. ලෝකයේ බහුලව තියෙන්නේ ධර්මය ලැබෙන්නේ නැති,
ධර්මය අතුරුදහන් වූ කාලයි.
ඔබ දන්නවද
ධර්මය අතුරුදහන් වූ එවැනි කාලයක අපගේ බුදුරජාණන් වහන්සේ රජෙක් වෙලා ඉපදුණා. ඒ
කාලයේ ලෝකයේ ධර්මය නෑ. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ රජ කෙනෙක්. ‘මේ ලෝකයේ බුදුවරයන්
වහන්සේලා පහළ වෙලා ධර්ම දේශනා කරලා තියෙනවා’ කියලා කට කතාවලින් අහන්න ලැබුණා. නමුත් ඒ
මොකක්ද කියලා කවුරුවත් දන්නේ නෑ. ඉතින් මේ රජ්ජුරුවන්ට ධර්මය ගැන දැනගන්න පුදුම
විදිහට ආශාවක් ඇති වුණා. ඉතින් මේ රජ්ජුරුවෝ ‘බණ පදයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න,
කහවණු ලක්ෂයක් දෙනවා’
කියලා අඬබෙර
පැතිරෙව්වා. ඒත් කවුරුත් දන්නේ නෑ. ඊට පස්සේ ඒ ගාන වැඩි කළා. ඇතෙක් බරට වස්තුව
දෙනවා’ කිව්වා. ඒත්
කවුරුවත් දන්නේ නෑ. රජ්ජුරුවන්ට දැන් ධර්මය අහන්න තියෙන ඕනකම වැඩියි. ඒ නිසා
රජතුමාට ‘දහම්සොඬ’
කියලා නමකුත් වැටුණා. ‘මට බණ පදයක් කියලා
දෙන්න මම මේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා’ කිව්වා. ඒ දන්නෙත් නෑ. ඊට පස්සේ “කවුරුහරි බුදුරජාණන්
වහන්සේ නමකගේ බණ පදයක් කියල දෙන්න. මම මේ මුළු රාජ්‍යයම දෙනවා” කිව්වා. ඒ දන්නෙත් නෑ.
බලන්න…. බෝසතාණන්
වහන්සේ පාරමී පුරාගෙන යන කාලේ තිබුණු මානසිකත්වය.
ඊට පස්සේ
දහම්සොඬ රජතුමා ‘බුදුවරයෙකුගේ
බණ පදයක්, බුදුවරයෙකුගේ
වචනයක් අහන්න ලැබෙන්නේ නැති මේ ජීවිතය මොකටද? මම මේ ධර්මය හොයා ගෙන යනවා’ කියලා රජකම අත්හැරියා.
අත්හැරලා වනගත වුණා. වනගත වෙලා දැන් ඔහේ යනවා. දිව්‍ය ලෝකයේ දෙවිවරු පරම්පරාවෙන්
එක ගාථාවක් කට පාඩමෙන් අරගෙන ආවා. ශක්‍ර දෙවියෝ මේ ගාථාව දන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ
මහා පුදුම මනුෂ්‍යයෙක් ඉපදිලා ඉන්නවා ශක්‍ර දෙවියන් දැක්කා. ‘බුදුවරයන් වහන්සේ
නමකගේ වචනයක් හොයාගෙන සියල්ලම අත්හැරපු එක් කෙනෙක්…. ඊට පස්සේ ශක්‍ර දෙවියෝ ‘මෙයාගේ මේ ධර්මය
සෙවීමේ අවංකකම මම පරීක්ෂා කරන්න ඕන’ කියලා කල්පනා කරලා මහ වනාන්තරය ඇතුළේ යක්ෂයෙකුගේ වේශයෙන්
පෙනී සිටියා.
ඉතින් දහම්සොඬ
රජ්ජුරුවන්ට මේ යක්ෂයාව මුණගැසුණා. ‘මං මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සොයා ගෙන යන්නේ’
කියලා කිව්වා. යකා ‘මං එක බණ පදයක්
දන්නවා. බුදුරජාණන් වහන්සේ නමකගේ ගාථාවක් දන්නවා’ කිව්වා. ‘අනේ! එහෙනම් මට කියාදෙන්න’ කිව්වා. ‘මට කියා දෙන්න වෙලාවක්
නෑ… මට බඩගිනියි’
කිව්වා. ‘එහෙම නම් මට ඔය ගාථාව
කියා දීලා ඉවරවෙලා ඕනෙ නම් මාව කන්න’ කිව්වා. ‘එහෙම බෑ. මට එතකන් ඉන්න බැහැ. මට බඩගිනි වැඩියි’ කිව්වා. ඊට පස්සේ යකාම
යෝජනාවක් කළා, ‘ඔබ අර ගල්
කන්දට නගින්න. නැගලා පල්ලෙහාට පනින්න. ඒ පනින වෙලාවට මම ගාථාව කියන්නම්. ඒකත්
අහගෙනම මගේ කටට පනින්න.’ රජ්ජුරුවෝ
කැමති වුණා. (මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අතීතයේ ධර්මය සොයාගෙන ගියපු ආකාරයයි)
ඉතින් කන්දට නැගලා පනින කොට ශක‍්‍රදෙවියන් දේව වේශයෙන් මෙයාව අල්ලගෙන වාඩි කරවලා
ධර්මය කියා දුන්නා.
බලන්න,
මේ ලෝකයේ එක් බණ
පදයක්වත් නැති කාල තිබුණා. දැන් ඉතින් අපට ධර්මය අහන්න ලැබෙන කොට අපි ඒ ධර්මය
හරියට මතක තියාගන්න ඕන. (සද්ධහති තථාගතස්ස බෝධිං) තථාගත බුදුරජාණන් වහන්සේගේ
අවබෝධය අදහා ගැනීම තමයි ‘ශ‍්‍රද්ධාව’
කියන්නේ. සමහර
අවස්ථාවල ධර්මය ඉගෙන ගනිද්දී බැලූ බැල්මට නිකන් ලාභයක් නෑ වගේ පෙනෙයි. එතකොට
උනන්දුවක් ඇති වෙන්නේ නෑ. නමුත් නුවණින් කල්පනා කරලා බැලුවොත්, ලාභය තියෙන්නේ
මේකෙමයි. මේ ධර්මයේමයි ලාභය තියෙන්නේ. ලාභය තියෙන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ
අවබෝධය ගැන පැහැදීමේමයි.
අනේපිඬු
සිටුතුමාට පුතෙක් සිටියා. යාලූවෝ කට්ටියත් එක්ක ඔහේ රංචු ගැහිලා යනවා, ඒත් ධර්මය අහන්න යන්නේ
නෑ. සිටුතුමා ‘මොකක්ද මේකට
කරන්නේ?’ කියලා කල්පනා
කළා. “පුතේ… මං ඔයාට කහවණු 500ක් දෙන්නම්. ඔයා
ජේතවනාරාමයට ගිහිල්ලා බණ අහලා එන්න.” මෙයා “හොඳයි”
කියලා යනවා. ඒත්
ජේතවනාරාමයට යන්නේ නෑ. රවුම ගහලා ගෙදර යනවා. ගිහිල්ලා “තාත්තේ මං ඔන්න ගියා…” කියලා කහවණු 500 ගන්නවා. ඒ කාලෙත් එහෙනම්
ඒ වගේ ළමයි ඉඳලා තියෙනවා.
දවසක්
අනාථපිණ්ඩික සිටුතුමා ‘මේ ළමයා මම
කිව්වහම යනවා. ගිහිල්ලා ඇවිල්ලා මගෙන් සල්ලිත් ගන්නවා. එහෙම නම් මෙයා දැන් පාඩම්
කරල තියෙනවද කියලා බලන්න ඕන’ කියලා කල්පනා
කරලා “පුතේ, අද මං ඔයාට කහවණු
දාහක් දෙනවා. ඔයා බුදුරජාණන් වහන්සේ ලඟට ගිහින් ඒ අහන බණ මට ඇවිල්ලා කියන්න. ඒ
කිව්වම තමයි දාහ දෙන්නේ” කිව්වා. ඒ
නිසා එදා එයාට යන්නම වුණා. මෙයා ඉතින් ජේතවනාරාමයට ගිහිල්ලා වාඩිවෙලා බුදුරජාණන්
වහන්සේගේ ධර්මයේ බණ පදයක් අල්ලගන්න කල්පනා කරනවා. නමුත් අහන අහන එක මතක නැතුව
යනවා. මෙයා කල්පනා කළා ‘මට මේ හරි
වැඩේ වුණේ. මේක මතක් කරගත්තේ නැත්නම් මට සල්ලි හම්බවෙන්නේ නෑ.’ (නමුත් මතක නැතිවුණාට
අර්ථය වැටහෙනවා) මෙයා මෙතැන වාඩිවෙලා ඉන්නේ සල්ලි හම්බ කරන්න කියලා බුදුරජාණන්
වහන්සේ දැනගත්තා.
ඒ නිසා
බුදුරජාණන් වහන්සේ ඉර්ධි බලයෙන් තමයි එයාට අමතක වෙන්න සැලැස්සුවේ. ඒ කියන්නේ අර්ථය
මතක් වෙනවා. ඒත් වචන මතක නැතුව යනවා. ඒ නිසා මෙයාට මතක හිටිනකම් දිගටම රැඳිලා ඉන්න
සිද්ධ වුණා. අන්තිමේදී මෙයා සෝතාපන්න වුණා. ඊට පස්සේ ඉතින් එයාගේ කාරණය හරිනේ.
මෙයා ගෙදර
ගියා. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා සල්ලි ටික අරගෙන ආවා. “කෝ බලන්න අද ඔයා අහපු බණ.” ”අනේ තාත්තේ, මට සල්ලි එපා! මෙච්චර
කාලයක් ධර්මය ගැන දන්නේ නැතුවයි මගේ අතින් අඩුපාඩු වුණේ. බුදුරජාණන් වහන්සේගේ
ධර්මය සල්ලිවලට තක්සේරු කරලා ඉවර කරන්න බැහැ” කිව්වා. ඉතින් ඒ නිසා අපි මේවායෙන් ඉගෙන
ගන්න ඕන ඒ ධර්මයේ තියෙන වටිනාකමයි.
අපි මේ ඉගෙන
ගනිමින් ඉන්නේ ශ‍්‍රද්ධාව ගැනයි. ශ‍්‍රද්ධා දෙකක් තියෙනවා. ඒ දෙක මතක තියාගන්න. ඒ
තමයි, ‘අමූලිකා
සද්ධාව හා ආකාරවතී සද්ධාව.’ අමූලිකා ශ‍්‍රද්ධා
කියලා කියන්නේ මුලක් නැති පැහැදීමට. ඒකට මුල් නෑ. සාමාන්‍යයෙන් සීයක් ගත්තොත්
සීයටම වගේ තියෙන්නේ අමුලිකා ශ‍්‍රද්ධාව තමයි. ආකාරවතී ශ‍්‍රද්ධාවට එන්න නම් ගෞතම
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා, යෝනිසෝ මනසිකාරයේ යෙදිලා කරුණු කාරණා තේරුම් ගත යුතුයි.
එහෙම නැත්නම්
අමූලිකා ශ‍්‍රද්ධාවට ආපු කෙනෙකුට, (ඒ කියන්නේ මුලක් නැති ශ‍්‍රද්ධාව තියෙන කෙනෙකුට)
බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ධර්මය
ගැන සිතේ අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ශ‍්‍රාවක සංඝයා ගැන හිතේ
අපැහැදීමක් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.
යමෙකුට
ආකාරවතී ශ‍්‍රද්ධාව ඇතිවුණාට පස්සේ එයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන
පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ධර්මය කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ශ‍්‍රාවක
සංඝයා කෙරෙහි තිබෙන පැහැදීම වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා අපට ඕන කරන්නේ අමූලිකා ශ‍්‍රද්ධාව
නෙවෙයි, අපට ඕන කරන්නේ
ආකාරවතී ශ‍්‍රද්ධාවයි. අපි මේ ධර්මය ඉගෙන ගන්නේ ඒ ආකාරවතී ශ‍්‍රද්ධාවට එන්නයි.
ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම
ශ‍්‍රද්ධාවන්ත
පින්වතුනි,
අපි මේ ලිපි
වලින් විස්තර කරන්නේ “අභිසන්ද”
කියන බුද්ධ දේශනාවට
අදාළ විස්තරය. ඒ බුද්ධ දේශනාවේ අපි ඉගෙන ගත්තා පුණ්‍ය ගංගාව, කුසල ගංගාව ගැන.
ජීවිතයකට උදාකර ගන්න තියෙන කරුණු හතරකින් කරුණු දෙකක් ගැන.
ඒ තමයි
බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම පැහැදීමක් ඇති කරගෙන, ඉන්ද්‍රඛීලයක් වගේ ඒ පැහැදීම පවත්වන හැටි. ඒ
කියන්නේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදු
ගුණ ගැන ඇති කරගන්න හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ
වදාළ ධර්මය ගුණ වශයෙන් අවබෝධ කරගෙන පැහැදීමක් ඇති කර ගන්නා ආකාරය.
අද අපි ඉගෙන
ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලා ගැන පැහැදීම ඇති කරගැනීම.
බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කරපු සූත‍්‍ර දේශනාව, ඔබ කවුරුත් දන්නවා ඒක.
ඒ තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ දේශනාවෙන් තමයි ශ‍්‍රාවකයන් වහන්සේලාගේ
පටන් ගැනීම ඇති වුනේ. ස්වාමීන් වහන්සේලා පස් නමක් ඒ දේශනාව ශ‍්‍රවණය කළා. ඒ ශ‍්‍රවණය
කරපු ස්වාමීන් වහන්සේලා අතරින් ඉස්සෙල්ලාම අවබෝධ කළා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ.
කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට විතරක් අවබෝධ වෙන්න හේතු වුනේ මොකද?
ඔබ දන්නවා
බුදුරජාණන් වහන්සේ දුෂ්කර කි‍්‍රයා කරපු කාලයක් තිබුනනේ. ඒ කාලෙදීම අවබෝධ කර ගත්තා
‘ඒ දුෂ්කර ක්‍රියාව
වැරදියි’ කියලා. අවබෝධ
කරලා ඒක අත්හැරියා. ඒ වෙනකොට අර පස්වග භික්ෂූන් වහන්සේලා හිටියේ දුෂ්කර ක්‍රියාව
තුළින් අවබෝධ කරන්න පුළුවන් කියන දෘෂ්ටියේ, මතයේ. එතකොට බුදුරජාණන් වහන්සේ
සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් දුෂ්කර ක්‍රියාව අත්හැරියාම අර පස්දෙනා කලකිරුනා.
කලකිරිලා හිතුවා, උන්වහන්සේට
පාර වැරදුනා කියල. හිතලා උන්වහන්සේව අත්හැරලා බරණැසට ගියා. ඒගොල්ලො හිටිය බරණැසට
ගයා ප‍්‍රදේශයේ ඉඳලා උන්වහන්සේ වැඩම කළා.
බුදුරජාණන්
වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච බව මේ ස්වාමීන් වහන්සේලා පස්නම දන්නෙ නෑ. ඉතින්
බුදුරජාණන් වහන්සේ ලෝකෙ ගැන විමසල බැලූවා. බලන කොට අවබෝධ වුනේ ලෝකය නෙළුම් පොකුණක්
වගේ කියලා. එතකොට මේකේ මෝරපු නෙළුම් වගේ කල්පනා ශක්තිය මෝරපු මනුෂ්‍යයන් ඉන්නවා
කියලා අවබෝධ වුනා. ධර්මය නමැති සූර්යයා පායා ආවොත්, හිරු කිරණ වැදිල ඒ නෙළුම් මල් පිපෙනවා වගේ,
කල්පනා ශක්තිය මෝරපු
මනුෂ්‍යයන්ට, මේ ධර්මය
අවබෝධ කරගන්න පුළුවන් කියලා.
ඉතින්
උන්වහන්සේ බරණැසට වැඩම කරපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා එකපාරට පිළිගත්තද? නෑ… මොකද අර මතයේ හිටපු
නිසා. ඈතම දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකපු වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාගේ
සිතේ ඇතිවුන අදහස මොකක්ද?… ‘ඔය එන්නෙ අපි
ලඟට අන්තිමට. අන්තිමට අපි ලඟටම ඔය එන්න වුනේ’ කියලා හිතුනා. හිතිල කතාකර ගත්තා. ‘උසස් කුලේක නිසා අපි
ආසනයක් විතරක් තියමු. අපි සළකන්න යන්න ඕන නෑ’ කියලා.
නමුත්
උන්වහන්සේ ළං වෙන කොට, ළං වෙන කොට ඒ
ගොල්ලන්ට ඒ අයගේ ඒ අදහසේ ඉන්න බැරිවුනා. පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් එක භික්ෂුවක්
ගිහිල්ලා පාත්තරේ, සිවුරු ඉල්ල
ගත්තා. තව භික්ෂුවක් ඉක්මනට දෙපා සෝදන්න පැන් තිබ්බා. ඉතින් මේ වගේ උපස්ථාන කටයුතු
කළා. උපස්ථාන කටයුතු කළාට ඒ කාලේ සම සම අය කථා කරන වචනයක් තියෙනවා ‘ආවුසෝ’ කියලා. ‘ආවුසෝ’ කියන එක සිංහලෙන් අපි
දැනට වර්තමානයේ පාවිච්චි කරනවා ‘ආයුෂ්මතුනි’
කියලා (ආවුසෝ කියන්නේ
සම අයට කතා කරන වචනයක්). ඉතින් එහෙම කථා කළා. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ඇහුවා “කොහොමද ඔබේ දානමාන
හම්බ වෙනවද? හොඳින්
පහසුවෙන් ඉන්නවද?” “පහසුවෙන්
ඉන්නවා” කිව්වා. ඉඳලා
මේ පස්වග භික්ෂූන් වහන්සේලා කියනවා “ආයුෂ්මතුනි, ඔබ හරි ලස්සනයි දැන්. (කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට
කියන්නේ. හිතුවේ අර දුෂ්කර ක්‍රියා අත්හැරපු නිසා ලස්සන වෙලා කියලා.) ඔබ හරිම
ලස්සනයි.
ඔය විදිහට
කීවම බුදුරජාණන් වහන්සේ වදාළා “මහණෙනි,
ආයුෂ්මතුනි, කියන්න එපා, මට අමෘතය හම්බවුනා. මං
ඒක අත්දුටුවා. මං ඔබලාට දේශනා කරන්නම්. ඔබට අවබෝධ කරන්න පුළුවන්.” එතකොට ඒ ගොල්ලෝ එක
පාරටම ලෑස්ති වුනාද? නෑ. එතකොට
කිව්වා ඒගොල්ලෝ “එහෙම කොහොමද
වෙන්නේ? ඔබවහන්සේ ඒ
දුෂ්කර ක්‍රියාව අත්හැරියනේ, ඔබවහන්සේ
දුෂ්කර ක්‍රියාව අත්හැරල කොහොමද එකපාරට මෙහෙම වෙන්නෙ ආයුෂ්මතුනි?” කියලා ආයෙත් ‘ආයුෂ්මතුනි’ කිව්වා. ඊට පස්සේ
බුදුරජාණන් වහන්සේ ආයෙත් කිව්වා “ආයුෂ්මතුනි කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට
පත්වෙලා ඉන්නේ, අවබෝධ කරලා
තියෙන්නේ, අහන්න මා
කියන්නම්” කියලා. ඒ
පාරත් ආයෙමත් ඒ ප්‍රශ්නයම ඇහුවා.
තුන්වැනි
වතාවේ බුදුරජාණන් වහන්සේ අහනවා. “මහණෙනි, මම මීට කලින් ඔබට මම අවබෝධ කරගත්තා. මේ ධර්මය අවබෝධ
කරගෙනයි මම කියන්නේ කියලා මීට කලින් මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවාද?” අන්න එතැනදී “නෑ, ස්වාමීනි” කිව්වා.
එතකොට
බුදුරජාණන් වහන්සේ අවබෝධ කරල තියෙන්නේ කියන අදහස ගියේ, ඒ පස් දෙනාගෙන් එක් කෙනෙකුගේ හිතට. ඒකට
හේතුව, ඒ කොණ්ඩඤ්ඤ
ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් වෙලා ඉන්න කාලේ කිඹුල්වත් නුවර සිද්ධාර්ථ
කුමාරයාට නම් තබන උත්සවයට සහභාගී වෙච්ච එක්කෙනා. එදා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලලා,
එක ඇඟිල්ලක් උස්සපු
එක්කෙනා. එයා එදා තීරණය කළා ‘අනාගත
බුදුරජාණන් වහන්සේ ගෙන් මම ධර්මය අහන්න ඕන’ කියලා. ඔක්කෝම අත්හැරලා මහණ වෙච්ච එක්කෙනා.
එයාගේ හිතට ශ‍්‍රද්ධාවක් ඇතුළු වුනා. එහෙනම් මේ උත්තමයා අවබෝධ කරලා තියෙනවා. එයා ශ‍්‍රද්ධාවෙන්
ඇහුවා. අනිත් අය සැකෙන් ඇහුවා.
ඕක දන්නෙ නැති
සමහරු කියනවා සාර්ථක වුනේ නෑ කියලා. එතකොට ශ‍්‍රද්ධාවෙන් ඇහුවාම එයා අවබෝධ කරනවා.
ශ‍්‍රද්ධාව ඇතිවෙච්ච ගමන් මොකද වෙන්නේ? අවධානයෙන් අහනවා. අවබෝධ කරගන්න ඕන කියන අදහසින් අහනවා. ශ‍්‍රද්ධාව
නැති එක්කෙනා දෙගිඩියාවෙන් අහනවා.
ඒ පළමුවැනි
දේශනාවෙදි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට අවබෝධ වුනා.
එතකොට ඉස්සෙල්ලාම ඒ ශ‍්‍රාවකයෙක් හැටියට බිහිවුනේ සෝතාපන්න ශ‍්‍රාවකයෙක්. පළවෙනි
පියවරට ආපු එක්කෙනෙක්. හරි! ඉතින් සාර්ථකයි සියයට සීයක්ම. ඊට පස්සේ දැන් ඔන්න
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන්ගේ පියවර පටන් ගන්නේ ඒ විදිහටනේ. ඔන්න ඉස්සෙල්ලාම
කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුනා. දැන් බුද්ධ, ධම්ම, සංඝ කියන ති‍්‍රවිධ රත්නයේ සෝතාපන්න ශ‍්‍රාවකයා
පහළ වෙලා ඉන්නවා. ඊළඟට දැන් අනිත් පිරිසට ශ‍්‍රද්ධාව පිහිටියා ‘හරි, මේ ධර්මය අවබෝධ කරන්න
පුළුවන්’ කියලා. ඊට
පස්සේ තමයි අනෙක් භද්දිය, වප්ප, මහානාම, අස්සජි කියන ස්වාමීන්
වහන්සේලාට සවන්දීමේ ඕනකම ඇති වුනේ. ඊට පස්සේ දෙනමක් පිඬු සිඟා වඩිනවා. එක්කො
තුන්නමක් පිඬු සිඟා වඩිනවා. ඒ දානෙන් ඔක්කෝමලා යැපෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම
දේශනා කරනවා. දැන් එක නම, එක නම සෝවාන්
වෙනවා.
ඊට පස්සේ
පස්නමම එකතු කරලා අනාත්ම ලක්ඛණ සූත්‍ර ධර්මය දේශනා කළා. දේශනා කරනකොට සකදාගාමී,
අනාගාමී, අරහත් කියන ඵලයට පත්
වූ රහතන් වහන්සේලා පස් නමක් බිහිවුනා. ඊට පස්සේ ඔන්න ආයෙමත් මේ පෘථිවියේ, කෙලෙස් සහිත මිනිස්සු
පා තබාගෙන යන පොළොවේ නිකෙලෙස් අය පය තබා යන්න පටන්ගත්තා. රහතන් වහන්සේලා ලෝකෙට
බිහිවුනා.
බරණැස් නගරයේ
ඉඳලා කිලෝ මීටර් දහයක් වගේ දුරයි ඉසිපතන මිගදායට. ඒ කාලේ කොහේද දන්නේ නෑ යස
කුලපුත්‍රයාගේ ගේ. එයා බොහෝම ධනවත් කෙනෙක්. රත්තරන් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරපු
කෙනෙක්. දවසක් යස කුලපුත්‍රයාට කල්පනාවක් ආවා. ‘මොකක්ද මේ සැප විඳින එකේ තේරුම? මීට වඩා නැද්ද ජීවිතේ
නිදහසක් කියල එකක්?’ කියලා මෙයා
පාන්දරින්ම ‘මීට වඩා හොඳයි
මම නිදහසක් හොයා ගෙන යනවා’ කියලා
පාන්දරින්ම මිදුලට බැහැල ඔහේ ගියා. (දැන් අපි යන්නෙ හිටපු ගමන්. අපිට ඇවිදින්න
හිතුනහම අපි යනවා. අතරමගදී අපිට හිතෙනවා මං මේ පාරෙත් පොඞ්ඩක් ඇවිදින්න ඕන. ඒ
පාරෙන් ඇවිදිනවා.)
ඒ වගේ මේ යස
කුලපුත්‍රයා ඇවිද ගෙන ගියා. යද්දි බුදුරජාණන් වහන්සේ පාරේ අයිනේ ගහක් යට වැඩ
ඉන්නවා පාන්දර. දැන් යස කුලපුත්‍රයා දැක්කෙ නෑ බුදුරජාණන් වහන්සේ ඉන්නවා.
උන්වහන්සේ ලඟින් යන කොට… (බලන්න වාසනාව
කැරකෙන හැටි…) කියවුනා,
“අනේ මං මේ ගතකරන
ජීවිතේ නම් මහා කරදර ගොඩක්” කියලා. කියන
කොට බුදුරජාණන් වහන්සේ කියනවා “යස, මේ මං ගතකරන ජීවිතේ
කිසිම කරදයක් නෑ” කියලා. “කිසිම කරදයක් නැති
ජීවිතයක් මේ තියෙන්නේ” කිව්වා. එතකොට
යස කුලපුත්‍රයා කල්පනා කළා, තමන්ගෙ නමින්
කථා කළා. පැහැදුනා. ලඟට ඇවිල්ල වාඩිවුනා. ධර්ම දේශනා කළා, යස කුලපුත්‍රයා සෝවාන්
වුනා.
ඊට පස්සේ යස
කුලපුත්‍රයාගේ තාත්තා උදේ නැගිටල බලනකොට ළමයා නෑ. එකම පුතා. ඊට පස්සේ බැලුවා.
වත්තට බැස්සා. අඩි පාර තියෙනවා. අඩි පාර දිගේ තාත්තා එනවා. බුදුරජාණන් වහන්සේ ලඟ
දැන් යස කුලපුත්‍රයා වාඩිවෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කළා යස
කුලපුත‍්‍රයව පේන්නේ නැති වෙන්න.
තාත්තා ආවා.
ඇවිල්ල “ස්වාමීනි,
අපේ පුතා දැක්කද?”
කියලා ඇහුවා. එතකොට
බුදුරජාණන් වහන්සේ කිව්වා. “පුතා ගැන
හොයනවට වඩා තමන් ගැන හෙව්වොත් හොඳ නැද්ද?” “හොඳයි” කිව්වා. වාඩි කළා. දැන් බුදුරජාණන් වහන්සේ
ධර්ම දේශනා කරන කොට යස කුලපුත්‍රයා අහගෙන ඉන්නවා. තාත්තා සෝවාන් වුනා. පුතා රහත්
වුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අර අධිෂ්ඨානය අත්හැරියා. දැන් යසකුල පුත්‍රයා
ඉන්නවා වාඩිවෙලා. ඉතින් ඇහුවා. “මේ ධර්මය
පරිපූර්ණ අවබෝධ කරගත්ත කෙනෙකුට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්ද?” කියලා. “බැහැ ස්වාමීනී”
කිව්වා. එයා තමයි
පළවැනි ගිහි ශ‍්‍රාවකයා තෙරුවන් සරණේ පිහිටපු.
යස කුලපුත්‍රයා
ඒහිභික්ෂු පැවිද්දෙන් පැවිදි වුනා. ඒහිභික්ෂු පැවිද්ද කියලා කියන්නේ බුදු කෙනෙකුට
පමණක් ලබාදෙන්න පුළුවන් පැවිද්දක්. දැන් යස කුලපුත්‍රයා රහත් වුනා. ගිහි ඇඳුම් තාම
තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ යස කුලපුත්‍රයාට වදාළා, “භික්ෂුව එන්න, මෙය මනාකොට දේශනා කරපු ධර්මයක්. දුක් කෙළවර
කරන්න පුළුවන් ධර්මයක්” කියලා. ඒ
සැණින් එයාගේ හිස කෙස් නැති වෙනවා. ගිහි ඇඳුම් නැතිවෙනවා. සිවුරු පිරිකර ලැබෙනවා.
ඒක ඉර්ධියක්. ඒකට කියනවා ඒහිභික්ෂු පැවිද්ද කියලා. ඒක ජීවමාන බුදු කෙනෙකුන්ගෙන්
විතරයි ලබන්න පුළුවන්. මේ විදිහට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ‍්‍රාවක සංඝයා
බිහිවුනා.
ඊළඟට තව
තිස්නමක් හිටියා භද්දවග්ගීය කුමාරවරු කියලා. භද්දවග්ගීය කියලා කියන්නේ “හොඳ, සුන්දර කණ්ඩායම”
කියන එක. මේ
භද්දවග්ගීය කුමාරවරු කියන්නේ කුමාරවරු තිස් දෙනෙක්. තිස් දෙනාගෙන් 29 කට ගැහැණු ළමයි
ඉන්නවා. එක් කෙනෙකුට නෑ. කුළියට ගත්තා. අරගෙන මේ ගොල්ල ආව විනෝද වෙන්න. මේ ගොල්ල
විනෝද වෙවී යන කොට, මේ ගොල්ලන්ගේ
වාසනාවට මේ ගොල්ල ඇතුළු වුනා බරණැස ඉසිපතන මිගදායට.
මේකෙ පැත්තක
තියෙනවා පොකුණක්. දැන් මේගොල්ලො කණකර ආභරණ වටිනා දේවල් පැත්තකින් තියලා නානවා. අර
කුළියට ගත්ත කෙල්ල, බඩු ටික
පොට්ටනියක් හදාගෙන පැන්නා. මේගොල්ලො ගොඩට ඇවිල්ල බලන කොට, මේ ගැණු ළමයා නෑ.
අනිත් ගැණු ළමයි ටික යැව්වා. “ඔයගොල්ල යන්න
ඉක්මනට ගෙවල්වලට. අපි මේ කෙල්ලව හොයා ගන්නවා කොහොම හරි” කියලා. දැන් මේගොල්ලො ඔක්කෝම හොය හොයා යනවා.
බුදුරජාණන්
වහන්සේ ගහක් යට වාඩිවෙලා ඉන්නවා. ලඟට ඇවිල්ල ඇහුවා “ස්වාමීනි, මේ පැත්තෙන් ගෑණු ළමයෙක් ගියාද?” බුදුරජාණන් වහන්සේ
අහනවා.“කුමාරවරුනි,
ගෑණු ළමයෙක් හොයන එකද
හොඳ? තමන් කවුද
කියලා හොයාගන්න එකද?”
බලන්න මේ
බුද්ධිමත් මිනිසුන්ට ප්‍රශ්න තේරෙනවා. වර්තමානයේ අපි ඒ වගේ බෑග් එකක් නැතිවෙලා
කලබල වෙච්ච එක්කෙනකුට කිව්වොත් එහෙම, “මේ බෑග් එකක් හොයාගන්න එකද හොඳ, තමා කවුද කියල
හොයාගන්න එකද හොඳ…?” කියලා. “මේ හාමුදුරුවෝ මොනවා
කියනවද දන්නෙ නෑ. මං මේ ඔළුව ගිනි අරගෙන ඉන්නේ මේ ප්‍රශ්නෙට” කියයි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ
මත්තෙම එයා යනවා මිසක්, “ආ… මේක ඇත්ත තමයි”
කියලා නවතින්න තරම්
මොළේ මෝරල නෑ. ඉතින් අර අය, “හා…” කියලා නැවතුනා. ඉතින්
ඒ අයත් ශ‍්‍රාවක සංඝයා.
ඊට කලින් තමයි
යස කුලපුත්‍රයාගේ යහලූවෝ 54ක් ඇවිල්ල
පැවිදි වුනේ. පැවිදි වෙලා, යස කුලපුත්‍රයා
සමඟින් මේ සංඝයා බිහිවුනා. එතකොට සංඝ කියල අදහස් කළේ පැවිදි ශ‍්‍රාවකයන්. දැන්
මාර්ගඵල ලාභී ගිහි අය ඉන්නවා. නමුත් ගිහි අයට කවදාවත් ශ‍්‍රාවක සංඝ කියන වචනය
යොදන්නේ නෑ. සෝවාන්, සකදාගාමී,
අනාගාමී ගිහි අය
ඉන්නවා. ශ‍්‍රාවක සංඝ කියලා යොදන්නේ නෑ. ඒ මොකද හේතුව? මෙතැන ශ‍්‍රාවක සංඝ කියලා කියන්නේ ගිහි
ජීවිතය අත්හැරපු, උදාර ශික්ෂා
පද සමූහයක් ආරක්ෂා කරගෙන ඉන්න, ශාසනයේ අරටු.
මාර්ගඵලලාභී භික්ෂු සංඝයා. එතකොට අපි සරණ ගියේ අන්න ඒ ශ‍්‍රාවක සංඝරත්නයයි.
ආර්යකාන්ත සීලය…
ශ‍්‍රද්ධාවන්ත
පින්වතුනි,
අපි
ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ විසින්ම අපට හඳුන්වා දීපු අරහං, සම්මා සම්බුද්ධ ආදී
බුදුගුණ සමූහය ඉගෙන ගත්තා. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන්
අවබෝධයෙන්ම දේශනා කොට වදාළ, ධර්මයෙහි
තිබෙන්නා වූ මූලික ලක්ෂණ ගැන ඉගෙන ගත්තා. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන්
වහන්සේලාගේ ගුණ සමූහය ගැන ඉගෙන ගත්තා. ඒ තුළින් අපට තෙරුවන් ගැන කිසියම් අවබෝධයක්
ඇති කරගන්න පුළුවන් වුණා.
දැන් අපි ඉගෙන
ගන්නේ සීලය ගැනයි. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවයි, ආර්යකාන්ත සීලයයි කියන මේ හතරට කියනවා,
‘සෝතාපත්ති අංග’
කියලා. ඒ කියන්නේ
සෝවාන් වූ කෙනෙක් තුළ පිහිටන්නා වූ අංග. යම්කිසි කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ
ශාසනයේ ආර්ය ශ‍්‍රාවකයෙක් වෙලා, ආර්ය
අෂ්ටාංගික මාර්ගයට පැමිණිලා, ගමන් කරනවා
නම් ඒ ශ‍්‍රාවකයා තුළ මේ ලක්ෂණ හතර පිහිටනවා. ඒ මූලික ලක්ෂණ හතර තමයි, බුදුරජාණන් වහන්සේ
කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය, ධර්මය කෙරෙහි
නොසෙල්වෙන ප්‍රසාදය, ආර්ය සංඝයා
කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය සහ ආර්යකාන්ත සීලය. එයින් අද අපි ඉගෙන ගන්නේ සීලය
ගැනයි.
ඔබ බොහෝ
කාලයක් තිස්සේ පන්සිල් සමාදන් වෙනවා. මේ පන්සිල්වල තියෙන්නේ පංච දුෂ්චරිතයෙන්
වැළකීමයි. එහෙම නම් අපි ඉස්සර වෙලා ඉගෙන ගන්න ඕන පන්සිල් නෙවෙයි, පංච දුෂ්චරිතය කියන්නේ
මොකක්ද කියලයි.
පංච සීලයේ
පළවෙනි සිල්පදය, ‘(පාණාතිපාතා
වේරමණී සික්ඛාපදං සමාදියාමි) සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.’
සතුන් මැරීම ගැන
බුදුරජාණන් වහන්සේ මොන විදිහටද පෙන්වා දුන්නේ කියලා අපි දැනගන්න ඕන. මේක
දුෂ්චරිතයක්. දුෂ්චරිතයක් කියන්නේ නරක දෙයක්, වැරදි දෙයක්, නොමනා දෙයක්, බාලයෙකුගේ ක්‍රියාවක්, අසත්පුරුෂයෙකුගේ ක්‍රියාවක්.
එතකොට යම්කිසි කෙනෙක් පාණාතිපාතා කියන දුෂ්චරිතය කළොත්, එයා තුළ අකුසල් වැඩෙනවා. එයා තුළ යම් කුසල්
තිබුණා නම් ඒවා පිරිහෙනවා. එතකොට ‘පාණාතිපාතා’ කියන එකේ තියෙන භයානකකම පේනවද?
බුදුරජාණන්
වහන්සේ දේශනා කළේ, සතුන් මැරීම
බයත්, වෛරයත්
හටගන්නා පළමුවෙනි කරුණ කියලයි. පාණාතිපාතා සිල්පදය බුදුරජාණන් වහන්සේ විස්තර කළේ
මෙහෙමයි. ඔන්න පාණාතිපාති කෙනෙකුගේ ලක්ෂණ. ඒ තමයි, (ලූද්දෝ) එයා රෞද්‍රයි, නපුරුයි. (ලෝහිතපාණී)
ලේ තැවරුණ අත් ඇති. ලේ තැවරුණ අත් කියන එකේ තේරුම මේකයි, ඔබ අහලා තියෙනවද ආයුධ පරිහරණය කරන සමහර අය
තමන්ගේ පිරිසිදුකම ගැන මෙහෙම කියනවා, “මගේ මේ අත් දෙකේ මම ලේ ගාගෙන නෑ” කියලා. එහෙම කියන අය
ඉන්නවනේ.
මට මතකයි,
පොලීසියේ මහත්මයෙක්
මාත් එක්ක කිව්වා, “ස්වාමීනී,
මගේ අත් දෙකේ ලේ නෑ”
කියලා. ලේ තැවරුණ අත්
ඇති කියන එකේ අර්ථය ඒකෙන් ගන්න පුළුවන්. රෞද්‍ර, ලේ තැවරුණ අත් ඇති, (හතපහතේ නිවිට්ඨෝ) අන්‍යයන්ව
වැනසීමෙහි යෙදුණු, (අදයාපන්නෝ)
දයාවක් නැති බවට පත් වූ, (අදයාපන්නෝ
පාණභූතේසු) ප්‍රාණීන්, සත්වයින්
කෙරෙහි දයාවක් නැති මේ කාරණාවලින් යුක්ත වීමටයි ‘පාණාතිපාත’ කියලා කියන්නේ.
එතකොට බලන්න,
බුදුරජාණන් වහන්සේ ‘පාණාතිපාතා’ කියන වචනයට කොයිතරම්
විස්තරයක් කරලා තියෙනවද? අපි මේ
විස්තරය දන්නේ නෑනේ. අපි විස්තර දන්නේ නැතුව නිකන්ම ‘පාණාතිපාතා වේරමණී’ කියලා කියනවා. ඒක මොන
විදිහේ එකක්ද කියලා අපි හරියට දන්නේ නෑ. ඒ නිසා කරවල කෑල්ලක් කැවුණොත් ‘ඔන්න සිල් කැඩුණා’
කියනවා. ඔය වගේ
දේවල්වලින් තමයි පටලවා ගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා කියලා මේ දේශනා
කරන්නේ, මනුෂ්‍යයන්
කෙරෙහි, සියලූ සතුන්
කෙරෙහි දයා රහිත වූ, රෞද්‍ර වූ,
ලේ තැවරුණ අත් ඇති,
සතුන් වැනසීමෙහි යෙදීම
පාණාතිපාතා කියලයි. බුදුරජාණන් වහන්සේ ‘සේවිතබ්බාසේවිතබ්බ’ කියන සූත්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේත්
එක්ක කරන සාකච්ඡාවකදී මේක හරි ලස්සනට තෝරලා දෙනවා.
එතකොට පංච
දුෂ්චරිතයේ ස්වභාවය තමයි, මෙලොව පරලොව
දෙකේම බය, වෛර ඇතිකිරීම.
හිතලා බලන්න, අපි මේ ලෝකයේ
තියෙන යුද්ධ ගැන කතා කරනවා. මේ යුද්ධ අයිති වෙන්නේ පාණාතිපාත කියන එකටනේ. ආගමික වධ
හිංසා තියෙනවා. ඒවා අයිති වෙන්නෙත් පාණාතිපාත කියන එකට. එතකොට සතුන් මැරීම අයිති
වෙන්නේ පාණාතිපාත කියන එකට. මේකේ ලක්ෂණය බය වෛර හටගැනීමයි. ඕක තමයි පංච දුෂ්චරිතය
තුළින් බිහිකරන්න පුළුවන්. ඒ පංච දුෂ්චරිතයේ පළවෙනි එක තමයි පාණාතිපාතය. එතකොට
පාණාතිපාතයෙන් බයත්, වෛරයත්
හටගන්නවා.
එතකොට යම්කිසි
කෙනෙක් ‘පාණාතිපාතී’
වෙනවා නම්, ඒ කියන්නේ රෞද්‍ර නම්,
ලේ වැකුණු අත් ඇතුව
ඉන්නවා නම් එයා ඉන්නෙත් බයෙන්. මොකද, එයා අන්‍යයන්ගේ වෛරයට ලක්වෙනවා. එතකොට මේ ලෝකයේ බය වෛර
හටගන්නා වූ ප්‍රධාන කාරණය තමයි ප්‍රාණඝාතය. අපි කෙටියෙන් ප්‍රාණඝාතය කියලා කියනවා
තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා කියන වචනය විස්තර කරන්න මේ විදිහටයි,
‘ලූද්ධෝ ලෝහිතපාණී
හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු.’ එතැන විශේෂ වචන හතරක් පාවිච්චි කරනවා. එතකොට බලන්න
බුදුරජාණන් වහන්සේ මේ දුෂ්චරිතය තෝරපු හැටි. එතකොට ප්‍රාණඝාතය නිසා මෙලොව
ජීවිතයේදී බය, වෛර හටගන්නවා.
ඒකට කියන්නේ දිට්ඨධම්මික කියලා. මේ බය, වෛර හටගන්නේ මෙලොවදී විතරක් නෙවෙයි, එයා පරලොවදිත් බය
වෛරවලට පත්වෙනවා. පාණාතිපාත කරන කෙනා මරණින් මතු උපදින්නේ නිරයේ, අපායේ. එතකොට එයා නිරය
තුළ තමන්ගේ ක‍්‍රියාවට අනුරූප වූ වධ වේදනාවට ලක්වෙලා බය, වෛරවලට භාජනය වෙනවා.
බුදුරජාණන්
වහන්සේගේ ශ‍්‍රාවකයා මේ දුෂ්චරිතයේ තියෙන ආදීනවය දකිනවා. ආදීනවය කියන්නේ, මේකේ තියෙන නරක පැත්ත
දකිනවා. දැකලා පළවෙනි දුෂ්චරිතයෙන් මිදෙනවා. බය, වෛර හටගන්නා වූ පළවෙනි කාරණය අත්හරිනවා. ඒ
කියන්නේ (පාණාතිපාතං පහාය) පාණාතිපාතය අත්හරිනවා. අත්හැරපු ගමන් එයා අත්හැරලා
තියෙන්නේ රෞද්‍රකම, ලේ වැකුණු අත්
ඇති බව, අන් සත්වයන්ව
ඝාතනය කිරීම, ප්‍රාණීන්
කෙරෙහි දයා රහිත බවයි. එතකොට එයා සුචරිතයට එනවා. සුචරිතයට එන්නේ, එයා (පාණාතිපාතා
පටිවිරතෝ හෝති) පාණාතිපාතයෙන් වැළකීම ශික්ෂා පදය හික්මීමේ මාර්ගයක් හැටියට සමාදන්
වෙනවා.
ඔන්න
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියන එකේ තේරුම. (නිහිතදණ්ඩෝ) එයා ප‍්‍රාණීන් මැරීම
පිණිස, හිංසා කිරීම
පිණිස දඬු මුගුරු ගන්නේ නෑ. එයා දඬු මුගුරු අත්හැරපු කෙනෙක්. (නිහිතසත්ථෝ) අවි
ආයුධ අත්හැරපු කෙනෙක්. (ලජ්ජී) ඒ දේවල් කරන්න ලැජ්ජා කෙනෙක්. (දයාපන්නෝ) සතුන්
කෙරෙහි, මනුෂ්‍යයන්
කෙරෙහි දයාවෙන් ඉන්න කෙනෙක්. (සබ්බපාණභූතහිතානුකම්පී විහරති) ඒ විදිහට සියලූ ප්‍රාණීන්,
සත්වයින් කෙරෙහි
හිතානුකම්පීවීම තමයි පළවෙනි සිල්පදය.
එතකොට ‘පාණාතිපාතා වේරමණී
සික්ඛාපදං සමාදියාමි’ කිව්වාම ඒ
අර්ථ ටික දන්නේ නැත්නම්, අවබෝධයෙන්
සිල් රකින කෙනෙක් වෙන්නේ කොහොමද? එයාට තියෙන්නේ දෘෂ්ටියක් විතරයි. එයා මොනවා හරි සුළු
කෑල්ලක් අල්ලගෙන, “ආ… අරක කළහම සීලය
බිඳෙනවා. සිල් කැඩෙනවා” කියයි. එයා
සිල්පදය දන්නේ නෑ. අපි සිල්පදය දන්නේ නැත්තේ ධර්මයේ තෝරලා දීලා නැති නිසා
නෙවෙයිනේ. ධර්මයේ පැහැදිලිව තෝරලා තියෙනවා. දන්නේ නැත්තේ ධර්මයේ තෝරපු දේ කියපු
නැති නිසයි. එතකොට ‘පාණාතිපාතා
වේරමණී සික්ඛාපදං සමාදියාමි’ කියලා සිල්පදය
සමාදන් වෙලා පාණාතිපාතයෙන් වෙන් වූ ගමන් බය, වෛර සංසිඳෙනවා.
එයාට
පාණාතිපාත හේතු කරගෙන හටගන්නා වූ යම් බයක්, වෛරයක් තියෙනවා නම්, ඒ බය වෛර හටගන්නේ නෑ.
මෙලොව හටගන්නෙත් නෑ, පරලොව
හටගන්නෙත් නෑ. ඒ වගේම පාණාතිපාතයෙන් වැළකුණු කෙනෙකුට, ඒ වැළකීම හේතුකරගෙන, පාණාතිපාතයට
යොමුවීමෙන් හටගන්නා යම්තාක් අකුසල් ඇද්ද, ඒ සියල්ල ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට
පාණාතිපාතයෙන් වැළකීම නිසා උපදවා ගන්න තියෙන යම් තාක් කුසල් ඇද්ද, ඒ කුසල් උපදවා ගන්නවා.
එතකොට යම් කෙනෙක් පළවෙනි සිල්පදය අවබෝධයෙන්ම ආරක්ෂා කර ගත්තොත් එයා අකුසල් ප්‍රහාණය
කරන, කුසල් උපදවා
ගන්න වැඩපිළිවෙලකට පත් වූ සුචරිතවත් කෙනෙක් බවට පත්වෙනවා.
එතකොට ‘පාණාතිපාතා වේරමණී
සික්ඛාපදං සමාදියාමි’ කියන කොට මේකේ
කොයිතරම් පළල් වූ අර්ථයක් තියෙනවාද කියලා ඔබට තේරෙනවාද? මේ ලෝකයේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදය
සමාදන් වීම හේතුකර ගෙන තමයි දීර්ඝායුෂ ලබන්නේ. රෝගපීඩා නොලබන නීරෝගී ජීවිතයක්
ලබන්නේ. ඊළඟට මේ පාණාතිපාතයෙන් වැළකීම තුළ කායික මානසිකව ශක්තිමත් ජීවිතයක් ලබන්න
හේතුවන කුසල වර්ධනයක් සිදු වෙනවා.
පාණාතිපාතයේ
යෙදීමෙන් සිදුවෙන්නේ අනිත් පැත්ත. ඒ තමයි, එයා නිරයේ ගිහිල්ලා ආයෙමත් මනුෂ්‍ය ලෝකයට
ආවොත් මනුෂ්‍ය ලෝකයේදී ඉපදුණු ගමන්ම රෝගියෙක්. සමහර දරුවන් ඉන්නවා, උපතේම හදවතේ සිදුරු.
සමහරු උපතින්ම අත පය කොරවෙලා. සමහරු උපතින්ම රෝගීන් හැටියට ඉන්නවා. සමහරුන් අඩු
ආයුෂයෙන් මැරිලා යනවා. ඒ ඔක්කෝටම හේතුව, සංසාරයේ ‘පාණාතිපාතී’ කෙනෙක් වෙලා හිටපු එක. මේ සියල්ලම එහි
විපාක. එහෙම නම් අපි පාණාතිපාතයෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙන්න ඕන අවබෝධයකින්.
එහෙම නම් අපි මේ සිල්පදය සමාදන් වෙන්න ඕන, අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් වර්ධනය කිරීම
පිණිසත්. මොකද, ඒ තුළ තමන්ගේ
අතින් වෙන්න තියෙන අකුසල් ඔක්කෝම ප‍්‍රහාණය වෙනවා. මොකද, සතුන් කෙරෙහි දයාවෙන් කරුණාවෙන් වාසය කරනකොට
අපේ ජීවිතයේ වැඩෙන්නේ කුසලයක්.
එයා තුළ ‘මම මගේ මේ ධර්ම මාර්ගය
තුළ අකුසල් ප්‍රහාණය වීම පිණිසත්, කුසල් වර්ධනය පිණිසත් තමයි මේ සිල්පදය සමාදන් වෙලා
ආරක්ෂා කරන්නේ’ කියන අවබෝධය
තියෙනවා. අන්න ඒකට තමයි අවබෝධයෙන් සිල් රකිනවා කියලා කියන්නේ. ඒ විදිහට අවබෝධයෙන්
සීලය රකින කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ‘සම්මා කම්මන්ත’ කියන මාර්ග අංගය සම්පූර්ණ වෙන්න හේතුවක්
වෙනවා.
ඉතින්
පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් මහත් අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් සීලය
ඉගෙනගෙන ඒ විදියටම ආරක්ෂා කරන්න උත්සාහ කරන්න ඕන.
සාදු! සාදු!!
සාදු!!!
No comments:
Post a Comment