Wednesday, May 24, 2017

අසිරිමත් පසේබුදු පෙළහර-පළමු කොටස


                                                               
අසිරිමත් පසේබුදු පෙළහර


(පළමු කොටස )


සියලු සතුන් වෙත නපුරක් නොකරන
කිසිවෙකු හට කිසි වෙහෙසක් නොකරන
දරුවන් නොකැමැති හේ කොයින් ලබන්ට ද මිතුරන්!
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….


ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් යුගයක ආශ්වාදය යාන්තමින් හෝ විඳගන්නට තරම් අපි ද වාසනාවන්ත වෙමු. උන්වහන්සේ විසින් ලෝකයා මෙතෙක් නොඇසූ විරූ අද්භූත තොරතුරු සිය ශ්‍රාවක ජනයා වෙත හෙළිදරව් කරන ලද්දේය.
සක්විති රජවරුන් පිළිබඳව, ලෝක ධාතු පිළිබඳව, පෘථිවියේ ආරම්භය හා විනාශය පිළිබඳව, මනුෂ්‍ය වර්ගයාගේ සම්භවය පිළිබඳව මෙන්ම පච්චේකබුද්ධහෙවත් පසේබුදුවරුන් පිළිබඳව ද අනේක තොරතුරු හෙළිදරව් කරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා නොදෙන්නට මේවා දැනගත හැකි වෙනත් පැහැදිලි කරුණු බාහිරින් සපයා ගත නොහැකිය. එතරම් ම පැරණි තොරතුරු එයට ඇතුළත්ය.
මෙම ග්‍රන්ථයෙන් දැනගන්නට ලැබෙන්නේ පසේබුදුරජාණන් වහන්සේලා පිළිබඳවය. සුත්ත නිපාතයට අයත් ඛග්ගවිසාණසූත්‍රයමඟින් ලත් ඒ පසේබුදුවරුන්ගේ උදාන නිසාය අප ඒ තොරතුරු දන්නේ. ඛග්ගවිසාණයන්නෙහි තේරුම කඟවේණ අඟය.
කඟවේණාහිමාල වන අඩවියේ විසූ අශ්වයෙකු වැනි සතෙකි. ඔහුගේ නළලින් අඟක් උඩට මතු වී ඇත. කඟවේණාගේ අඟ යනු එයයි. එය තනි අඟකි. වෙනත් කිසිවක් හා සම්බන්ධ නොවූ අඟකි. පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතය ද එබඳුය. අත්‍යන්ත හුදෙකලාවේ වාසය කිරීම උන්වහන්සේලාගේ ස්වභාවයයි.
උන්වහන්සේලාට ශ්‍රාවක ජනයා නැත. උන්වහන්සේලා ධර්ම දේශනා නොකරති. ශ්‍රාවක ජනයා පිරිවරා චාරිකාවේ නොවඩිති. චතුරාර්ය සත්‍යය උන්වහන්සේලා ඉස්මතු නොකරති. හිමාලයේ ගන්ධමාන පර්වතයෙහි මඤ්ජූසකවෘක්ෂය සෙවණේ විමුක්ති සුව විඳිමින් බවුන් වඩන උන්වහන්සේලා ගමට වඩින්නේ පිණ්ඩපාතය සඳහා පමණි.
ඒ පසේබුදුවරයන් වහන්සේලාගේ අත්දැකීම් පිළිබඳව අතිශයින්ම අප්‍රකට තොරතුරු අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගත් නිසාවෙන් දැන් අල්පමාත්‍රිකව හෝ අප එය දනිමු. සුත්ත නිපාත අටුවාවෙන් ගත් තොරතුරු අනුව අපි එය රසවත් අයුරින් ඉදිරිපත් කළෙමු.
මේ යුගයේ පසේබුදුවරු පහළ නොවෙත්. පසේබුදුවරු පහළවන්නේ සම්මා සම්බුදු යුගයකට ආසන්නයේ දී පමණි. යළිත් පසේබුදු යුගයක් ලොව උදාවන්නේ මෛත්‍රී බුදුරජුන් පහළ වීමට ආසන්නයේ දී පමණි. එතෙක් සිදුවන්නේ ඒ ඒ පාරමී ධර්මයන්ගේ සම්පූර්ණත්වය ඇතිවීමයි.
අප මේ ගත කරන්නේ බුද්ධ කාලයකයි. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයයි. වරින් වර බුදුවරුන්ගේ යුග ලෝකයෙහි පහළ වෙනවා. මේ කල්පයේදී දැනට බුදුවරුන්ගේ යුග සතරක් ඇති වී තිබෙනවා. මෛත‍්‍රී බුදුරජුන්ගේ යුගය තවම පහළ වී නෑ. එය පස්වෙනි යුගයයි. මේ පස් යුගයම ඇතිවෙන්නේ එකම කල්පයකයි. එනිසා වෙන්න ඇති මේ කල්පයට මහා භද්‍ර කල්පයකියා කියන්නේ.මෙම මහා භද්‍ර කල්පයේදී මුලින්ම පහළ වූයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. එකල මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දාහ වෙද්දී කෝණාගමණ බුදුරජුන්ගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී තමයි කාශ්‍යප බුදුරජුන්ගේ යුගය පහළ වුණේ. අප සරණ ගිය ගෞතම බුදුරජුන්ගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සයි. දැන් ඒ මිනිස් ආයුෂ කෙමෙන් අඩු වී ගෙන යන බව ඉතාම පැහැදිලියි. මේ සියලූ යුග බිහිකළ බුදුවරු අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටයි. උන්වහන්සේලාගේ ප‍්‍රධාන බුද්ධකෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ‍්‍රවණය කොට ශ‍්‍රද්ධාව ඇතිකරගත් ශ‍්‍රාවක පිරිස් බිහි වන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ පමණයි. එවිට ඒ ශ‍්‍රාවකයින් තම ශ‍්‍රද්ධාව මුල් කොට පැවිදි වෙනවා. ඒ බුදුවරුන් විසින් පෙන්වන ලද ආර්ය මාර්ගයෙහි ගමන් කරනවා. සසරෙන් එතෙර වෙනවා. එම වැඩපිළිවෙල හඳුන්වන්නේ බුද්ධ ශාසනයයන නමිනුයි.

එසේ බුදුසසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුන්ද පහළ වෙනවා. උන්වහන්සේලා හඳුන්වන්නේ පච්චේක බුද්ධයන නාමයෙනුයි. හෙළ බස් වහරින් කියන්නේ පසේබුදුකියාය. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරයි. අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට සුළු කලකට පෙර පවා මාතංගනමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩසිට තිබෙනවා.

එසේ නම් පසේබුදුවරු පහළ වන්නේ කොයි කාලයකද? පසේබුදුවරු පහළ වන්නේ සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමට පෙර බව දැන් අපි දන්නවා. එය මෙසේ තේරුම් ගනිමු. දැන් පවතින්නේ ගෞතම බුදුසසුනයි. කෙමෙන් කෙමෙන් මේ බුදු සසුනද අතුරුදහන් වී යනු ඇත. එය බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහතෙරුන් හට පැහැදිලිව දේශනා කළ අයුරු සංයුත්ත නිකායේ සද්ධම්ම පතිරූපකසූත‍්‍රයේ සඳහන්ව තිබේ. එනම් බුදු සසුනක් අතුරුදහන් වීමට කරුණු පහක් හේතු වෙනවා. යම් දිනෙක තථාගතයන් වහන්සේගේ සිව්වණක් පිරිස වන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ බුදුරජුන්ට ගෞරව නොකරත්ද, බුදුසරණින් බැහැරව සිටිත්ද, ධර්මයට ගෞරව නොකරත්ද, දහම් සරණින් බැහැරව සිටිත්ද, සංඝයාට ගෞරව නොකරත්ද, සඟ සරණින් බැහැරව සිටිත්ද, ශික්ෂාවට ගෞරව නොකරත්ද, ශික්ෂාවෙන් බැහැර වෙත්ද, සමාධියට ගෞරව නොකරත්ද, සමාධියෙන් බැහැරව සිටිත්ද, එකල්හී බුදු සසුන අතුරුදහන් වී යනු ඇත.

මේ අයුරින් ශාසනය අතුරුදහන් වෙමින් ගිය කල බලවත් වන්නේ අධර්මයයි. එවිට මව්පියන් නොහඳුනන, ගුරුවරුන් නොහඳුනන, කෙළෙහිගුණ නොදන්නා, අසත්පුරුෂ හැඟුමින් බලවත් පිරිස වැඩිවේ. ඒ හේතුවෙන් ආයුෂ කෙමෙන් අඩු වී යයි. වසර දහය දක්වා ආයුෂ අඩුවන බව චක්කවත්තී සීහනාදසූත‍්‍රයේ පෙන්වා දී තිබේ. ආයුෂ වසර දහය දක්වා අඩු වූ විට එකිනෙකා කෙරෙහි පළිගැනීම බලවත් වන මෘග සඤ්ඤාව මිනිසුන් තුළ ඇති වේ. එවිට ඔවුන් පෙළඹෙන්නේ එකිනෙකා ඝාතනය කිරීම පිණිසයි. මේ හේතුවෙන් සත් දිනෙක මහා යුද්ධයක් ඇති වේ. එයින් බොහෝ ජනයා මරණයට පත් වේ. මෙසේ මිනිස් ආයුෂ දස වසරක් දක්වා අඩු වී යන මේ තාක් කාලය තුළ පසේබුදුවරු පහළ නොවේ.

සත් දිනක් පවතින යුද්ධයෙන් පසු ඉතිරි වන ජනයා එකිනෙකා වැළඳ ගෙන හඬන්නට පටන් ගනී. ඔවුන්ගේ දිවි ගැලවී තිබීම ඔවුන් ලද භාග්‍යයක් කොට සළකයි. ඉන්පසු ඔවුන් කරන්නේ පිරිහී යාමට හේතු පිරික්සීමයි. ඒ හේතුවෙන් යළිත් ක‍්‍රමක‍්‍රමයෙන් ඔවුන් තුළ ගුණදම් වැඞී යනු ඇත. ඒ අනුව මව්පිය ගුරුවර ගෞරවය, කෘතගුණ ආදී මානව ගුණධර්ම වැඬේ. ආයුෂයද සීඝ‍්‍රයෙන් වැඩෙන්නට පටන් ගනී.

එසේ ක‍්‍රමක‍්‍රමයෙන් වැඩි වී යන මිනිස් ආයුෂ වසර අසූ දහස දක්වා වැඞී ගිය කල දඹදිව කේතුමතී නුවර මෛත‍්‍රී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වනු ඇත. ඒ සම්බුදු රජුන් පහළ වීමට පෙර පසේ බුදුවරුන්ගේ යුගයක් ඇති වේ. එම යුගය තුළ පසේබුදු බව පිණිස තම තමන්ගේ පින සකස් වූ මහා පින්වන්තයන් මනුලොව උපදිනු ඇත. තම තමන්ට වැටහෙන ක‍්‍රම ඔස්සේ නුවණ මෙහෙයවා පසේබුදු බවට පත්වෙනු ඇත.

සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ඛග්ගවිසාණසූත‍්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි. සම්බුදු නුවණින්ම මතුකරගත් අද්භූත දෙයකි. ලොව කිසිවෙක් නොදන්නා, නොවැටහුණු ඒ පසේබුදුවරුන්ගේ ලෝකය ගැන මේ අයුරින් හෝ දැනගන්නට ලැබීම පවා අප ලද වාසනාවකි.

මේ කථාව දෙස බලන්න. මෙය පසේබුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිත කථාවයි. මෙම පසේබුදුරජාණන් වහන්සේ පහළ වූයේ අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වෙන්නට පෙරයි. එනම් වසර විසිදහසක ආයුෂ තිබෙන කාලයේ ලොව පහළ වූ කාශ්‍යප බුදු සසුනෙහි තරුණයෙක් පැවිදිව සිටියා. එහිදී ඔහු විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී වැඩිපුර පුරුදු කොට තිබෙන්නේ ගත පච්චාගතවතයි. ඒ කියන්නේ භික්ෂුවක් ගමට පිඬු සිඟා වඩින විට, කුටියෙන් පළමු පියවර තබන්නේ කිසියම් භාවනා අරමුණකින් යුක්තවයි. ඒ භික්ෂුව පිඬු සිඟා වඩින අතරතුර මුණගැසෙන කිසිදු බාහිර අරමුණක් නිසා හෝ තම භාවනා මනසිකාරය වෙනස් කරගන්නේ නෑ. ඒ තුළම රැඳී ඉන්නවා. ඒ භාවනා අරමුණෙන්ම ආපසු කුටියට වඩිනවා. බාහිර ලෝකය හා එක් නොවී සිතෙහි නගා ගත් එම කුසල අරමුණු මත රැඳී පිඬු සිඟා යෑමත්, ආපසු ඒමත් එකම අයුරින් කරන නිසා එයට ගත පච්චාගත වත කියනවා. සැබැවින්ම මෙය ඉතා දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කර දේ පවා පිනැතියන් කරනවා.

ඉතින් මේ භික්ෂුවට එසේ ගත පච්චාගත වත පුරමින් පවා මහත් උත්සාහ කරද්දීත් කාශ්‍යප බුදුසසුනේදී මාර්ගඵලාවබෝධයක් ලබා ගන්නට නොහැකි වුණා. නමුත් එ් උත්සාහය අපතේ ගියේ නෑ. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපන්නා. පසේබුදුවරු පහළ වෙන යුගයේදී, එනම් සම්බුදුවරයෙක් පහළ වෙන්නට කලින් මේ පින්වත් දෙවියන් දෙව්ලොවින් චුත වුණා. මනුලොව බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳගත්තා. මේ දරුවා මහා ප‍්‍රඥාවන්තයෙක්. පිය රජතුමා මේ පින්වත් කුමරා තරුණ වියට පැමිණෙද්දී රජකම පැවරුවා. මොහු දැන් ඉතාමත් දැහැමින් රජ කරනවා.

අවබෝධය පිණිස රැස් කරගත් පින විපාක දෙන අයුරු හරි පුදුමයි. රජකම කරන අතරේ මොහු භාවනාවට යොමු වුණා. රාත‍්‍රියට සඳළුතලයට ගොඩවෙනවා. පුන් සඳ දෙස ඇස් පිය නොහෙලා බලා සිටිනවා. ඉන්පසු දෑස පියා ගන්නවා. ඒ පුන්සඳේ ඡායාව සිතෙන් මතු කරගන්නවා. ඒ අනුව සිත පිහිටුවාගෙන කසිණ වඩනවා. මේ කාලය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී නැති කලක් නිසා සතර සතිපට්ඨානය දන්න කවුරුවත් නෑ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දන්න කවුරුවත් නෑ. කසිණ වැනි කිසියම් භාවනාවක් තමයි කිරීමට තියෙන්නේ. ඉතින් මේ රජුගේ සිත එම භාවනාවෙන් එකඟ වුණා. ටිකෙන් ටික භාවනාවටම සිත ගියා. ඔහු ඇමතියෙකු කැඳවා රාජ කෘත්‍යය ඔහුට භාර දී උඩු මහලේම නැවතී භාවනා කරන්න පටන් ගත්තා.

අඩ මසක් ගතවුණා. රජතුමා පේන්න නෑ. වෙනදට එහෙම නොවෙයි. රජතුමාගේ ප‍්‍රධානත්වයෙන් රාජකීය උත්සව තියෙනවා. සම්භාෂණ තියනවා. උද්‍යාන ක‍්‍රීඩා තියෙනවා. දැන් මේ කිසිත් නැති නිසා රජතුමා කොහිදැයි බිසව ඇමතිවරුන්ගෙන් විමසුවා. එතකොට රජකම පිළිගත් ඇමතියා සියලූ දේ පවසා සිටියා. එවිට බිසවගේ මුවින් පිටවුණේ ඒ ඇමතියා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක්.

ඕහෝ…! එහෙමද? එතකොට රජකම පවරා තිබෙන්නේ ඔබටයිම්…. එහෙම නම් මාව අයිතිත් ඔබටයි. ඒ නිසා ඔබ මගේ යහන් ගැබට පැමිණිය යුතුයි.

ඇමතියා තැති ගත්තා. හද ගැස්ම වැඩිවුණා. කම්පා වුණා.

අහෝ…! බිසවුන් වහන්ස, මට සමාවුව මැනැව. රජතුමා මට මේ රාජ කෘත්‍ය පැවරුවේ උන්වහන්සේට භාවනා කිරීම පිණිස පමණයි. එනිසා මට එවැනි යෝජනාවකට එකඟ වෙන්න කිසිසේත් පුළුවන්කමක් නැහැ….”

එතකොට ඒ බිසව ඇමතියාට තව වතාවක් කියලා, තුන්වන වතාවේ තර්ජනය කළා.

ඒයි ඇමතියා….! මං මේ රාජ්‍යයේ රාජ මහේෂිකාව බව නුඹ දැන සිටියොත් හොඳයි! මට ඔය රාජ කෘත්‍යයෙන් නුඹව බැහැර කිරීම සුළු දෙයක්. එමතුද නොවෙයි! නුඹට ජීවිතයෙන් පවා සමුගන්න සිදුවේවි…! එනිසා දැනගනින්මේක යෝජනාවක් නෙවෙයි, රජ බිසවකගේ අණක්…!”

අන්තිමේදී බිසවගේ අණට කීකරු වෙන්න ඇමතියාට සිදුවුණා. ඇමතියාත් ක‍්‍රමක‍්‍රමයෙන් එයට ඇබ්බැහි වී ගියා. කලක් යද්දී මේ ඇමතියාගේ රහස් ක‍්‍රියා කලාපය ගැන රජතුමාට සැළවුණා. එක දවසක් රජතුමා අතටම අල්ලා ගත්තා. වධ හිංසා කිරීමට අසතුටු රජු මේ ඇමතියාව රාජ්‍යයෙන් නෙරපා හැරියා.

එතකොට ඇමතියා වෙනත් ප‍්‍රාදේශීය රජෙකු ළඟට ගියා. ගිහින් ඔහුගේ රාජ සේවයට බැඳුණා. ඒ ප‍්‍රාදේශීය රජුගේ සිත දිනා ගත්තා.

මහරජතුමනි, පිළව් නැති මී වදයක් නම් තියෙනවා. නමුත් එය අනුභව කරන්නට කවුරුවත් නෑ.

එම්බා ඇමතිය…, ඒ කුමක්ද? නුඹ මට විහිළු කරනවාද…?”

අනේ රජතුමනි, මට කමා වනු මැනැව. මා මේ පවසන්නේ සත්‍යයක්. එනම් බරණැස් නුවර රජකම ගැනයි. මා කියන්නේ අසත්‍යයක් නම්, ඔබවහන්සේගේ චරපුරුෂයන් ලවා විමසා බලන සේක්වා!

ඒ ප‍්‍රාදේශීය රජු චරපුරුෂයන් යැව්වා. ඔවුන් බරණැස් නුවරට ගොස් උමං සාරාගෙන බරණැස් රාජ මාළිගාවේ රජුගේ යහන් ගැබින් මතුවුණා. එවිට රජු චර පුරුෂයන්ගෙන් ප‍්‍රශ්න කළා. ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ තමන් සොරුන් බවත්, සොරකම් කිරීමේ අදහසින් පැමිණි බවත්ය. එවිට බරණැස් රජු ඔවුන්ට සමාව දී අවවාද කොට, ධනයද දී පිටත් කළා.

ධනය රැගත් චර පුරුෂයන් ප‍්‍රාදේශීය රජු කරා පැමිණි සියල්ල සැළකළා.

රජතුමනි, ඒ බරණැස් රජතුමා සිල්වත් කෙනෙක්. ප‍්‍රාණඝාත නොකරන කෙනෙක්. සොරකම් කිරීමට ගිය අපට තෑගි භෝග දුන්නා. තමන්ගේ බලය රාජ්‍ය තුළ පතුරුවා හැරීමක් නැති බවයි පෙනෙන්නේ…”

එයින් කරුණු තහවුරු කරගත් ඒ ප‍්‍රාදේශීය රජු බරණැස් නුවර මායිම් නගරයක් යටත් කර ගැනීම පිණිස පිටත්ව ගියා.

මට මේ නගරය ඕන. දුන්නෙ නැත්නම් යුද්ධ කොට අල්ලා ගන්නවාකියලා බරණැස් රජු වෙත ඇමතියෙක් පිටත් කළා. එතකොට බරණැස් රජතුමා මෙහෙම කිව්වා.

මං යුද්ධ කරන්න කැමති නෑ. නගරය දෙන්නම්.

එතකොට ඒ සතුරු රජතුමා පහසුවෙන්ම නගරය අල්ලා ගත්තා. බරණැස් රජුගේ ඇමතිවරු මෙයට කැමති වුණේ නෑ. ඔවුන් රජතුමාව දැනුවත් කළා.

මහ රජතුමනි, මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ. අපි යුද්ධ කරමු!

නෑ! මං කිසිම මනුෂ්‍ය ඝාතනයකට කැමති නෑ…. කොටින්ම යුද්ධය මං ප‍්‍රතික්ෂේප කරනවා.

මහ රජතුමනි, එහෙම නම් අපි ඔහුව ජීවග‍්‍රාහයෙන් අල්ලා ගනිමු. ඒ ගැන ඔබවහන්සේ නොසිතන සේක්වා! අප සමඟ වඩින සේක්වා!

හැබැයි ඇමැතිවරුනි, ඔය මනුෂ්‍ය ඝාතන, දරුණු වධහිංසා, මංකොල්ලකෑම් ආදියට මං කැමැති නෑ. එනිසා එ්වා නොකරන බවට පොරොන්දු වෙනවා නම් විතරක් මං එන්නම්.

මහ රජතුමනි, අපි ඔබවහන්සේගේ අදහසේමයි ඉන්නේ…. ඔවුන්ව භය කරලා පන්නමු.

ඉතින් ඒ රජු සිව්රඟ සේනා සමඟ කළගෙඩි ඇතුළේ පහන් දල්වා ගෙන රාත‍්‍රියේම පිටත් වුණා.

ඒ වෙද්දී අර ප‍්‍රාදේශීය රජු බරණැස සමීපයේ නගරයක් අල්ලාගෙන සිටියා. ඔහු සේනාවට මෙහෙම කිව්වා.

කොල්ලනේ…. මෙහෙ කා එක්ක සටන් කරන්නද? ඒ නිසා දැන් ? බෝ වුණා. නුඹලා හිතුමනාපේ නිදා ගනිල්ලා…” කියලා බලකායත් සමඟ නින්දට ගියා.

බරණැස් රජතුමා සේනාව සමඟ ගොස් සතුරු රජ ප‍්‍රධාන පිරිස වැටලූවා. කළගෙඩිවල තිබූ සියළු පහන් ඉවතට ගෙන එකවර දැල්වූවා. මහත් හඬ නැංවූවා. සතුරු රජුගේ බලසේනාව හොඳටම බියට පත්වුණා. රජතුමාව අවදිකළා. රජතුමාත් බියපත්ව විලාප නගා හැඬුවා.

බරණැස් රජුගේ ඇමතිවරු අර සතුරු රජු ජීවග‍්‍රාහයෙන් අල්ලා ගත්තා. මහරජතුමා ඒ රජුට පවා සමාව දුන්නා. බරණැස් නුවරට සමීප ජනපදයක රජකමට පත්කළා. ඔවුන් යහළුවන් වුණා.

ආයෙමත් රජතුමා ක‍්‍රමක‍්‍රමයෙන් මෙත් සිත දියුණු කරන්න පටන් ගත්තා. කිසි සත්වයෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවීමට මෙත් පැතිරුවා. ඒ තුළින් ධ්‍යාන උපදවා ගන්නට රජතුමා සමත් වුණා. නමුත් යුධ කෝළාහල, ලෙඩ දුක් ආදිය නිසා උපන් සත්වයා දුකට පත්ව සිටින අයුරු රජතුමාට හොඳින් වැටහුණා. උපදින තාක් මේ දුකට මුහුණ දිය යුතු බව රජතුමාට තේරුණා. ඉපදීමට හේතු විමසුවා. ඉපදීමට හේතුව භවය බවත්, භවයට හේතුව උපාදාන බවත්, උපාදායට හේතුව තණ්හාව බවත්, තණ්හාවට හේතුව විඳීම බවත්, විඳීමට හේතුව ස්පර්ශය බවත්, ස්පර්ශයට හේතුව ආයතන හය බවත්, ආයතන හයට හේතුව නාමරූප බවත්, නාමරූපවලට හේතුව විඤ්ඤාණය බවත්, විඤ්ඤාණයට හේතුව සංස්කාර බවත්, සංස්කාරවලට හේතුව අවිද්‍යාව බවත් අවබෝධ වුණා. එ් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කොට පටිච්චසමුප්පාදයෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. නිකෙලෙස් වුණා. පසේබුදු බවට පත්වුණා.

ඒත් තවම ඒ පසේබුදුන් සිටින්නේ රජඇඳුම් ඇතිවයි. එදා ඒ පසේබුදුන් හස්තිරාජයා පිට නැඟ සිටියා. ඇමතිවරු පැමිණ මෙහෙම කිව්වා.

පින්වත් මහරජතුමනි, දැන් සුදුසු කාලය පැමිණුනා. බල සෙනඟට සත්කාර කළ යුතුයි. පරාජිත සේනාවට බත් වැටුප් දිය යුතුයි.

පින්වත් දරුවෙනි, මට තවදුරටත් රාජ්‍ය කෘත්‍ය අදාළ නෑ. මං මේ සියලූ බන්ධනයන්ගෙන් නිදහස්ව හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද කෙනෙක්.

ඇමතිවරු පුදුම වුණා. රජකම් කරමින් සිටි මේ පින්වත් රජතුමා දැන් කතා කරන්නේ නිකෙලෙස් මුනිවරයෙකුගේ භාෂාවෙනුයි. ඔවුන්ට අදහා ගත නොහැකි වුණා.

මහරජතුමනි, ඔබවහන්සේගේ මේ ප‍්‍රකාශ ගැන අපට පුදුම නොවී සිටින්නට බැහැ. අප අසා තිබෙනවා හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද උතුමන් ගැන. පච්චේකබුද්ධනමිනුයි ඒ උතුමන් හඳුන්වන්නේ. නමුත් එ් පසේබුදුවරයන් වහන්සේලා යනු ඔවැනි රාජාභරණයෙන් සැරසී සිටින අය නොවේ.

එසේ නම් පින්වත් දරුවෙනි, පසේබුදුවරුන් සිටින්නේ කවර වස්ත‍්‍ර දරමින්ද?”

මහරජතුමනි, පසේබුදුවරුන් කෙස් රැුවුල් බාලයි සිටින්නේ. පොරවා ගෙන සිටින්නේ සිවුරු පිරිකරයි. ආහාර ගන්නේ පාත‍්‍රයකයි. ඒ උතුමන් අයිති වන්නේ ශ‍්‍රමණ පිරිසටයි.

මොහොතක් නිහඬව සිටි රජතුමා දකුණතින් හිස පිරිමැද්දා. එසැණින්ම රාජවේශය නොපෙනී ගියා. කෙස් රැවුල් බාගත්, මනා ලෙස සිවුරු පොරවා ගත්, පාත‍්‍රයක් දරා ගත් සැට වයස් පිරුණු මහ තෙර නමකගේ රූපයක් පෙනී ගියා.

එකෙණෙහිම ඒ පසේබුදුරජුන් අභිඤ්ඤා බලයෙන් ඇතා පිටින් ඉවත්ව අහසට පැන නැංගා. මවාගත් නෙළුමක් තුළ භාවනා ඉරියව්වෙන් වැඩසිටියා. ඇමැතිවරු නමස්කාර කළා.

අනේ ස්වාමීනී, ඔබවහන්සේ මෙවැනි අවබෝධයක් ඇති කරගත්තේ කොහොමද? ඔබවහන්සේ නම් ඒකාන්තයෙන්ම ඒ පච්චේකබුද්ධ කෙනෙක් විය යුතුයි. ඔබවහන්සේ සමඟ අපිත් එන්න කැමතියි. ඔබවහන්සේගේ ගමනට අපවත් කැඳවාගන්නා සේක්වා!

පින්වත් දරුවෙනි, මේ ජීවිතාවබෝධය පිණිස මට මෙත් සිත මුල් වුණා. කිසි කරුණක් නිසා හෝ මා තුළ වෛරයක් හටගත්තේ නෑ. අමනාපයක් හටගත්තේ නෑ. ඒ මෙත් සිතින්මයි මං මේ ලෝකය ගැන හිතුවේ. ඉපදෙන්නට හේතු වූ හැමදෙයක්ම මට වැටහුණා. මං ඒ සියලූ දේවල් ප‍්‍රහාණය කළා. දැන් මං නිදහස්…! මට තියෙන්නේ හුදෙකලාවේ යන ගමනක්.

මෙසේ වදාළ පසේබුදුරජුන් මෙම ගාථාව වදාළා.

    සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
    අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
    න පුත්තමිච්ඡෙය්‍ය කුතෝ සහායං
    ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

    මං ඉන්නෙ මේ ලෝකයේ සියලූ සත්වයන් කෙරෙහිම දඬුවම් කිරීම අත්හැරලයි. ඔවුන්ගෙන් කිසි කෙනෙකුටවත් මං පීඩාවක් කරන්නෙ නෑ. ඒ වගේම මං මේ යන ගමනේදී මගේ දරුවෙකු වත් එක්කගෙන යන්න කැමති නැති එකේ උදව්කාරයෙක් කොහොම එක්කං යන්නද? ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.

මේ අයුරින් හුදෙකලාවේම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් දඹදිව ඉසිගිලි පර්වතයෙහි වැඩසිටි බවට අපගේ බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේලාගේ නම්ගොත් පවා වදාළා.

මේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ගන්ධමානනම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි මංජූසකනම් විශාල වෘක්ෂයක් තියෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසකයි. එම මල රන්මල්නමින් හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් නොවේ. මෙය කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයකි. මේවා වර්ණවත් රත් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳිද මිශ‍්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට අනෙත් පසේ බුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බවයි.

එසේ රන්මල් හටගන්නා සුවිශාල වූ මංජූසක රුක්සෙවණට උන්වහන්සේලා රැස් වෙනවා. රැස් වී ඵලසමවත් සුවයෙන් වැඩසිටිනවා. පොහොය දවසට උන්වහන්සේලා තම තමන්ගේ ගුණධර්ම සතුටෙන් අනුමෝදන් වෙනවා. පිළිසඳර කථාවෙහි යෙදෙනවා. උන්වහන්සේලාගේ අවබෝධය සමාන බව වටහා ගන්නවා. නමුත් අවබෝධ කිරීමේදී එම අවබෝධය පිණිස ප‍්‍රවේශ වන ආකාරයේ වෙනස්කම් සාකච්ඡුා කරනවා. එවිටයි කලින් පහළ වී සිටි බුදුවරුන් අවබෝධය ලද ආකාරය ගැන අලූත් පසේබුදුවරුන්ගෙන් විමසන්නේ. ඒ මොහොතේදී තමයි උන්වහන්සේලා තමන් තමන්ගේ අත්දැකීම් පාදක කරගත් මෙවැනි ගාථාවන් වදාරන්නේ.

ඇත්තෙන්ම පසේබුදුවරු කියා කොටසක් මිනිස් ලොව වැඩසිටිය බවට පුරාවිද්‍යාත්මකව හෝ වෙනත් ඓතිහාසික මූලාශ‍්‍රයකින් හෝ දැනගත හැකි ක‍්‍රමයක් නැහැ. අතීත බුදුවරුන්ගේ ලෝකය වගෙයි. ඒ සියල්ල අනිත්‍ය නම් වූ සනාතන දහම තුළ සැඟවී යනවා. නමුත් මේ සියල්ල නිරාවරණය කරගත හැකි අනාවරණ ප‍්‍රඥා ඇති අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනැවින් හෙළිදරව් කරනවා. අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරුන් පිළිබඳව මෙම විස්තරය නොකරන්නට අපට කිසිසේත්ම මෙවැනි දේ ගැන දැනගත හැකි ක‍්‍රමයක් නැහැ. කිසිවෙක් නොදන්නා අතීතයක හුදෙකලාවේ සැඟව ගිය මේ අපූර්ව ගාථා පවා යළි සොයා ගන්නවා. ශ‍්‍රාවකයන්ට හෙළිදරව් කරනවා. සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත්!

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත



අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ පසේබුදුවරුන්ගේ අතීත ගාථාවන් සැබැවින්ම අසිරිමත්! සුත්ත නිපාතයෙහි ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි ඇති දෙවෙනි ගාථාව සහ එහි අතීත ප‍්‍රවෘත්තියයි අද ඔබට කියාදෙන්නේ.

එක්තරා පින්වත් කුමරෙක් කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි වසර විසි දහසක් කල් මහණදම් පිරුවා. වත්පිළිවෙත් කළා. සමථ විදර්ශනා භාවනා පුරුදු කළා. නොඇල්ම පුරුදු කළා. නමුත් මඟඵල ලබන්නට බැරිවුණා. කරන ලද පුණ්‍ය මහිමයෙන් ඔහු බඹලොව උපන්නා.

කලක් ගතවෙද්දී නැවතත් පසේබුදුවරුන්ගේ යුගය පැමිණුනා. එතකොට මේ මහා පින්වතා බඹලොවින් චුතව දඹදිව් තලයේ උපත ලැබුවා. මොහු මෙවර පිළිසිඳගත්තේ බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස තුළයි. රජ පවුලට එක් වූ මේ අලූත් සිඟිත්තාට කවුරුත් ආදරය කළා. එහෙත් මෝ ගැහැණියකි, මේ පිරිමියෙකියන්න ටිකෙන් ටික තේරුම් යද්දී මේ දරු සිඟිත්තා තුළ අමුතුම වෙනසක් ඇතිවුණා. එනම්, ස්ත‍්‍රීන් ප‍්‍රතික්ෂේප කිරීමයි. දැන් මේ සිඟිත්තාට කිරිමවුවරුන් පවා රුස්සන්නේ නෑ. ස්ත‍්‍රීන් විසින් සුරතල් කරනු ලැබීම රුස්සන්නේ නෑ. ඔවුන්ගේ කටහඬවත් අසන්න කැමති නෑ.

මෙය හැමෝටම ප‍්‍රශ්නයක් වුණා. පුරෝහිත බමුණන් සමඟ සාකච්ඡාකළා. දරුවාට කිරි පෙවීම විසඳ ගන්නේ කොහොමද? අන්තිමේදී ඔවුන් උපක‍්‍රමයක් කළා. එනම් කිරිමව්වරුන්ට පිරිමින්ගේ වෙස්ගන්වා දරුවාට කිරි පෙවීමයි. දැන් මේ දරුවා වැඩෙන්නේ පිරිමින් අතරේ විතරයි. කැමති වන්නේ පිරිමින් සමඟ සිටීමට විතරයි.

රජතුමා ඇමතියෙක් කැඳෙව්වා.

මාගේ පුත් කුමරා දැන් සොළොස් වස සම්පූර්ණයි. රාජ පරම්පරාව ඉදිරියට රැගෙන යාම කළ යුතුම දෙයක්…. එනිසා,.. කුමාරයාට ස්ත‍්‍රීන් කෙරෙහි ඇල්මක් ඇතිවෙන කුමක් හෝ දෙයක් කරන්නම ඕනකියලා අණ කළා.

ඉතින් ඒ ඇමතියා උපායක් යෙදෙව්වා. කුමාරයාව සතුටු කරන්න ප‍්‍රසංගයක් සූදානම් කළා. ඒ ප‍්‍රසංගයේ ප‍්‍රධාන අමුත්තා වුණේ මේ කුමාරයයි. ඉතින් මොහු ඉතා සතුටින් ප‍්‍රසංගය නරඹන්න ගියා. වේදිකාව තිරයකින් වසා තිබුණා. ඒ තිරය පිටුපසින් ඉතාම මිහිරි ගීත ඇහෙනවා. වාදන ඇහෙනවා. ගෙජ්ජි සෙළවෙනවා ඇහෙනවා. හැබැයි ඒ හඬවල් ගොරෝසු නැහැ. කලක් තිස්සේ පිරිමි හඬ පමණක් ඇසූ කුමරුට මෙය අමුත්තක් වුණා.

කාගෙද ඔය හඬ…?”

කුමරුනි, ඔය තිරය පිටිපස්සේ ඉන්නේ කාන්තාවො කියල ජාතියක්ඈලාගේ කටහඬ ඉතා මිහිරියිඈලා පින්වන්තයිඑබඳු පින්වතියන් ගැලපෙන්නේ ඔබ වැනි ලස්සන කුමාරයෙකුටයි. ඒ නිසා කුමාරයා කැමති නම්, ඒ කාන්තාවන් සමඟ සතුටු වෙන්න අවස්ථාවක් දැන් මං සළස්වලා දෙන්නම්…”

කුමාරයා තුළ පරණ අප‍්‍රසන්නකම ඇතිවුණා. අර ඇමතියාට තරවටු කොට එළවා ගත්තා. ඇමතියා අඬාගෙන ගොස් මහරජුට සැළකළා. කුමරු ලවා කමා කරවා ගත්තා. ඇමතිවරු ලවා මෙවැනි උපක‍්‍රම දිගින් දිගට කරද්දී කුමාරයාට මෙය මහා වධයක් වුණා. අන්තිමේදී කුමාරයා මෙහෙම කල්පනා කළා.

මට මහා වධයක්මගේ ඇඟේ පටලවන්න හදන්නේ මං අකමැති දෙයක්මයිහොඳයිකො! මං හොඳ වැඩක් කරන්න ඕන.
කුමාරයා රන්කරුවන් කැඳෙව්වා. ලස්සන ගෑණු ළමයෙකුගේ රූපයක් අඹන්න අණ කළා. ඉතින් ඒ රන්කරුවනුත් දුටුදුටුවන් වසඟ වන මනමෝහනීය සුන්දර ස්ත‍්‍රී රූපයක් තැනුවා. මෙය දුටු කුමාරයා පුදුමයට පත්වුණා. කිසි දවසක නොවුණු වෙනසක් ඔහුගේ සිතේ ඇතිවුණා. කිසි ස්ත‍්‍රියකට ආසා නොකළ කුමාරයාගේ සිත මේ කාන්තා රූපයට වසඟ වුණා. පුදුම විදිහට ආශා කරන්න පටන් ගත්තා.

ඔව්! මං කැමතියි…. හැබැයි මට මේ විදිහම ලස්සන රූපයක් ඇති කෙනෙක් ලැබෙනවා නම් විතරක්!

එතකොට රජතුමාත්, බිසවත් මෙහෙම කතා වුණා.

අපේ පුත් කුමරා මහා පින්වන්තයෙක්…. බඹලොවින් ආපු කෙනෙක් වෙන්න ඇතිකාලයක් මුළුල්ලේ ස්ත‍්‍රීන් නැති ලෝකෙක ජීවත් වුණ නිසා වෙන්න ඇති ස්ත‍්‍රීන්ව රුස්සන්නෙ නැත්තේහැබැයි අපේ කුමක්දෝ වාසනාවකට පුත් කුමරා අර රන්රුවට සමාන ස්ත‍්‍රියක් ලබන්න කැමති වුණා නෙව. මේ දඹදිව් තලයේ මෙවැනි ලස්සන රූපයක් ඇති කුමරියක් මුණ ගැසුණොත් අපේ කුමාරයාගේ පින තමයි…”

රාජසේවකයන් ලස්සන යහනාවක අර ස්ත‍්‍රී රූපය තබාගෙන පෙරහැරකින් ජනපද පුරා රැගෙන ගියා. මදුරට සාගල නුවර දක්වාම රැගෙන ගියා. එදා සාගල නුවර මාළිගාවේ දාසියන් දියනෑම පිණිස තොටුපළට ඇවිත් සිටියා. ලස්සනට සැරසූ රථයක බබලමින් තිබෙන ස්ත‍්‍රී රූපය බලන්න ඒ සේවිකාවන් ගියා.

අපෝ…! අපේ කුමාරි තරම් මේ රූපය ලස්සන නැහැ නෙවඇත්තෙන්ම අපේ කුමාරිගේ රූප සෝභාවට තරඟ කරන්න රන් රුවකටවත් බැහැ…. ඒකමයි මේකෙන් ඔප්පු වෙන්නේ…”

ඇමතිවරු පුදුම වුණා. මෙතෙක් ජනපද පුරා වීදි ඔස්සේ මේ රන්රුව ගෙනයද්දී හැමෝම නෙත් විදහාගෙන බලා සිටියා. හැමෝම කසුකුසු ගෑවා. කවුරුත් කිව්වේ මෙවැනි ලස්සන රූපයක් ඇති ගෑණු ළමයෙකු මිනිස් ලෝකයෙන් සොයාගත නොහැකි බවයි. නමුත් ඒ රන්රුව පරදවා එයට වඩා අතිශයින්ම ශෝභමාන රූපයක් ඇති දියණියක් මදුරට සාගල නුවර රජුට සිටී!

ඇමතිවරු මදුරජු මුණගැසීමට ගියා. බරණැස් රජුගේ පුත් කුමරුට මදුරජුගේ දියණිය ගැලපෙන බවත්, එම දියණියට අනාගත බරණැස් රජුගේ අග‍්‍රමහේෂිකාව වීමේ දුර්ලභ වාසනාව උරුම වන බවත්, එනිසා එම දියණිය බරණැස් රජුගේ පුත් කුමරාට සරණ කොට දීම සුදුසු බවත් දන්වා සිටියා. රජතුමා කැමති වුණා.

මේ තොරතුරු ඇසූ බරණැස් රජු අප‍්‍රමාණ සතුටට පත්වුණා.

රාජ පෙරහැරින් මේ බොහෝ ජනපද පසුකොට මා එන්නට ගියොත්, ඒ හේතුවෙන් හැමෝම අපහසුතාවයකට පත්වෙනවා. එනිසා ඔබම කුමරිය කැඳවා ගෙන එන්න. අපි මෙහෙ සියල්ල සූදානම් කරන්නම්කියලා අණ කළා.

රන්කරුවන් ලවා තනවන ලද ඒ මනමෝහනීය සුරූපී කුමරියටත් වඩා ලස්සන මිනිස් දුවක් තමා වෙනුවෙන් මදුරට රජමැදුරේ සිට පැමිණෙන බව ඇසූ කුමරු අපමණ ප‍්‍රීතියට පත්වුණා. ඒ වෙද්දී කුමාරයා තනියම භාවනා කරන්න පුරුදු වෙලයි හිටියේ. රජ මැදුරේදී හුදෙකලාවේ භාවනා කොට ප‍්‍රථම ධ්‍යානය උපදවාගෙනයි කුමාරයා හිටියේ. නමුත් දැන් ඔහුට මතක් වෙන්නේ අර ලස්සන කුමාරි ගැනමයි. ඒ කාම අරමුණු සිහි කිරීම නිසාම කුමාරයා ධ්‍යානයෙන් පිරිහී ගියා. දැන් ඔහු කරන්නේ කවදාද ඈ එන්නේ…’ කියමින් ඇඟිලි ගණන් කර කර ඉන්න එකයි. කුමාරයාට වෙන සිහියක් නෑ. ඔහුගේ සිතේ ලස්සන ලෝකයක් මැවිලා. ඔහු දැන් තනියම කල්පනා කරනවා. නිසඳැස් ලියනවා. සමණල තටුවල ගීත ලියනවා. වළාකුළුවල ඔංචිලි පදිනවා. ලස්සන කුමාරිගෙ පියකරු කෙස් කළඹේ මල් ගසනවා. සිහිනෙනුත් හිනැහෙනවා. ඉස්සර වගේ නෙවෙයි, හැම තිස්සෙම කැඩපත ළඟටත් යනවා. කුමාරයා හරිම කඩිසරයි. හිනාවුණ ගමන් ඉන්නවා. ඉබේට සිංදු කියවෙනවා.

රජ යුවලටත් හරිම සතුටුයි. රජතුමා ලහි ලහියේ රාජකීය විවාහ මංගලෝත්සවයට සූදානම් වෙනවා. පාර දෙපස සරසනවා. ශාලා පිරිසිදු කරනවා. අලූත් තිර රෙදි දමනවා. මල් හිටවනවා. වියන් බඳිනවා. රජතුමා ඇමතිවරුන්ට අණ කළා.

කුමාරිව රැගෙන එන්න අලංකාර උත්සවයක් කරන්න ඕන. සියලූම ප‍්‍රාදේශීය රජවරුන්ට මේ මංගලෝත්සවය දැනුම් දෙන්න ඕන. කවුරුවත් නොකළ මෙය හොඳ සිහිවටනයක ආකාරයෙන් කරන්න ඕන. එනිසා එකවරම කුමාරිව මාලිගාවට ගෙන එන්න එපා. පළමුව කළ යුත්තේ රාජකීය උද්‍යානයේ පිහිටි විවේක මණ්ඩපයේ කුමාරිය රඳවා ඇප උපස්ථාන කිරීමයි.

කුමාරිව රැගෙන එන පෙරහැර ටිකෙන් ටික රාජකීය උද්‍යානයට ළංවුණා. කුමාරයාට හරිම සතුටුයි. එහෙත් රාජකීය සිිරිත් විරිත් අනුව තවම ඇය බලන්න අවසර නෑ. නමුත් කුමාරයා දැන් රාජ උද්‍යානය දෙස බලාගෙන සිටිනවා. රාජකීය උද්‍යානයේදී ලස්සනට සැරසූ අශ්ව කරත්තයෙන් කුමාරිව බිමට බස්සවන්න ඇමතිවරු ළං වුණා. තිර ඈත් කොට කුමාරිට ඉතා ගරුසරු ඇතිව කතා කළා.

පින්වත් ලස්සන කුමාරියේ…. ඔබතුමියගේ විවේකය පිණිස පිය රජ්ජුරුවන් වහන්සේ ලස්සන මණ්ඩපයක් හදලා තියෙනවා. ටික දවසක් මෙහි විවේක ගන්න. තවම රජ මැදුර සරසනවා…. ඒ නිසා දැන් ඔය අශ්ව කරත්තයෙන් බිමට වඩින සේක්වා…!”

ඇතුළෙන් කිසිම සද්දයක් නෑ. ඇමතිවරු ආයෙමත් කතා කළා. කිසිම සද්දයක් නෑ. ඇමතිවරු අශ්ව රථයේ තිර මෑත් කොට බැලූවා. එතකොට දුටුවේ අශ්ව කරත්තය තුළ මැළවී ගිය මලක් මෙන් කුමරිය මිය ගොස් සිටි ආකාරයයි.

අහෝ….! අපේ ලස්සන කුමාරිට මේ මොකද වුණේ…? අයියෝ…! අපි මෙතෙක් වෙහෙස මහන්සි වී සිනිඳු රෝස මලක් මෙන් රැකගෙන ආ පින්වත් කුමාරිට මොකද වුණේ…? අයියෝ…! බරණැස් රාජවංශය අලංකාර කිරීමට අප රැගෙන ආ ලස්සන පුන් සඳ මඬලට මොකද වුණේ…?”

ඇමතිවරු වැළපෙන්න පටන් ගත්තා. කුමරියට හදිසියේ හැදුණු වාත රෝගයකින් තමයි ඈ මිය ගොස් සිටියේ. රන් රුවකටත් වඩා ලස්සන අතිශයින්ම රූප ශෝභාසම්පන්න දෙව්ලියට නිගා දුන් මේ පියකරු කුමරියගේ අතැඟිල්ලෙහි පේරැස් මුදුවක් දවටන්නට බලා සිටි කුමරාගේ සිහිනය බොඳ වී ගියේ සිතාගත නොහැකි වේගයෙන්. කුමරුට තේරුණේ තමන්ගේ මුළු ලෝකයම කඩා වැටුණු බවයි. පැතූ සියල්ල වෙනස් වී ගියේ ගසක ගෙඩියක් වැටෙනවාටත් වඩා වේගයෙන්. කුමරා තනියම සුසුම් හෙලන්න පටන් ගත්තා.

මං මුළු ජීවිතයටම ආදරය කළේ එකම එක්කෙනකුටයිනමුත් ඒ කෙනා ජීවත් වුණේ මගේ සිහින ලෝකයේ විතරයිසැබෑ ලෝකය තුළ මා පැතූ ඒ සොඳුරු රුව මට මුණගැහෙන්නේ සීතල වී ගිය මළ කඳක් වශයෙන් නේද…? ඇත්ත…! ඈ තුළ අපූරු ලස්සනක් තිබුණා. හැබැයි, ජීවත්ව සිටිද්දී විතරයිදැන් ඈ දරකඩක් සේ දැඩිව ගිය සීතල මළකඳක්. ඒ රන්වන් සම වෙනස් වෙලා. දෑස් වියැළිලා. දෙතොල් පුපුරලා. නාසයෙන් දුගඳ වැගිරෙමින් තියෙනවා. රන්වන් කෙස් කළඹ අවුල් වෙලා. ඇත්තෙන්ම අලංකාර රූපයක් මෙතරම්ම වේගයකින් වෙනස් වුණේ මක් නිසාද?’

සිත වෙලාගත් දුක, ශෝකය අතරින් මේ පින්වත් කුමාරාගේ නුවණ සියල්ල විනිවිද ගියා. ඔහු කවුරුත් නොසිතන විදිහට ජීවිතය ගැන සිතන්න පටන් ගත්තා. ඔහු කලබල වුණේ නෑ. නිශ්ශබ්ද වුණා. ඔහු අමුතුම ලෝකයක තනිවුණා.

ඇයි මේ ශෝකය හටගන්නේ? මා ආසා කරන දෙය මගෙන් වෙන්වුණු නිසා නේද? ඇයි මෙය මගෙන් වෙන් වුණේ…? ඈ මැරුණ නිසා නේද? ඇයි ඈ මැරුණේ? ඉපදුණු නිසා නේද? ඉපදුණු හැමෝටම ශෝක, වැළපීම්, දුක්, දොම්නස් උරුමයි. ඉපදීමෙන් නිදහස් වුණොත් මේ සියල්ලෙන්ම නිදහස් නේද? ඉපදීමෙන් නිදහස් වෙන්න බැරිද?

ඔව්! උපතට හේතුව නැති කළොත් නිදහස් වෙන්න පුළුවන් වේවි. ඇයි එහෙනම් ඉපදුනේ? අපි සංසාරේ කරපු දේවල් තමයි මේ උපත ගෙනාවේ. භවය තමයි ඉපදීමට මුල….’

කුමරුට ක‍්‍රමක‍්‍රමයෙන් පටිච්චසමුප්පාදය තමා තුළින්ම අවබෝධ වෙන්න පටන් ගත්තා. දුක අවබෝධ වෙන්න පටන් ගත්තා. දුකට හේතුව අවබෝධ වෙන්න පටන් ගත්තා. හේතුව නැති වූ විට දුක නැතිවෙන බව අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ සඳහා කළ යුතු දෙය අවබෝධ වෙන්න පටන් ගත්තා. කුමරුට චතුරාර්ය සත්‍යය පූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. හුදෙකලාවේ තනිවම ධර්මය අවබෝධ කළ පසේබුදු කෙනෙක් බවට පත් වුණා.

පසේබුදුරජාණන් වහන්සේ ඉතාම සංසුන්ව, නිශ්ශබ්දව, ශාන්තව අර කුමරියගේ මළ මිනිය දෙස බලා සිටියා. ඇමතිවරු පැමිණ කුමරුට සැනසිලි බස් කියන්න පටන් ගත්තා.

අහෝ…! පින්වත් කුමාරයාණෙනි, ජීවිතය ඔහොම තමයි. මේ විපත නිසා මුළු ජනපදයම හඬනවා…. මුළු මාලිගාවම කම්පා වෙනවා…. පින්වත් කුමාරයාණෙනි, ඔබතුමාගේ ශෝකය අපි හැමෝම බෙදා ගන්නවා. ආදරයක වේදනාව අපට වැටහෙනවා. දඹදිව කියන්නේ ජනපද රාශියකින් යුතු සුවිශාල දේශයක්. අපි ආයෙමත් අර රන් රූපය නංවාගෙන දඹදිව පුරා පිටත්ව යනවා. මේ වගේම ලස්සන කුමාරිකාවක් අපි ආයෙමත් රැගෙන එනවා…. අනේ අපේ පින්වත් කුමරුනි…. සෝක නොකරන සේක්වා!

පින්වත් ඇමතිවරුනි, කවුරු ගෙනාවත් මේ ස්වභාවය අපට උරුමයි. හැමෝම ඉපදෙන්නේ ජරා මරණ දෑතට රැගෙනයි. නැසෙන වැනසෙන දෙයට ඇලූම් කිරීමෙනුයි ශෝකය හටගන්නේ. මං ඒ ශෝකයෙන් නිදහස් වුණා. ඒ නිසා මට කුමරියකගේ අවශ්‍යතාවයක් නැහැ. කිසිවකට නොබැඳුණු අමුතුම ශාන්ත බවකින් මේ සිත පිරී ඉතිරී යනවා. මං හුදෙකලාවේම ජීවිතයේ යථාර්ථය අවබෝධ කළා.

කුමරුනි, ශෝකය හටගැනීම මිනිස් ස්වභාවයක්. අපි අසා තිබෙන්නේ ශෝක රහිත වන්නේ මුනිවරු කියලයි. හුදෙකලාවේ ජීවිතාවබෝධය ගැන අපි අසා තිබෙනවා. කුමරුනි, එය වනගත අසපුවක වෙන දෙයක් මිස, රජමැදුරක වෙන දෙයක් නම් නොවෙයි.

පින්වත් ඇමතිවරුනි, හුදෙකලාවේ ජීවිතාවබෝධය ලැබීම රජ මැදුරකදී සිදු නොවන බව ඔබ කියන්නේ මක් නිසාද?”

කුමරුනි, ඒ මුනිවරු ජීවත් වෙන්නේ මෙවැනි රාජාභරණ සහිතව නොවෙයි. ඒ මුනිවරු කෙස් රැඑවුල් බාලයි ඉන්නේ. ගත පොරවා සිටින්නේ කසට පෙවූ චීවර නම් වූ වස්ත‍්‍රයකුයි. ඒ මුනිවරු ළඟ රන් බඳුන් නෑපිඬු සිඟා යෑමට නිසි පාත්තරයක් තමයි තියෙන්නේ. ඒ මුනිවරුන්ගේ ලෝකය තුළ නම් කුමරුන් පවසන ශෝක රහිත බව තියෙනවා. එතකොට කුමාරයා කියන්නේ තමා මුනිවරයෙක් කියාද?”
එතකොට පසේබුදු බවට පත් මෙතුමා තමන්ගේ සිරුර දිහා බැලූවා. හිස අතගෑවා. එසැණින්ම කෙස් රැවුල් නොපෙනී ගියා. රජ ඇඳුම් නොපෙනී ගියා. කෙස් රැවුල් බා ගත්, කසට පෙවූ චීවර පොරවා ගත්, පාත‍්‍රයක් අතැති ශාන්ත මුනිවරයෙක් දිස්වුණා.

සියලූ දෙනා පුදුමයට පත්වුණා. කරුණු වටහාගත නොහැකි බොහෝ දෙනෙක් හඬා වැළපෙන්න පටන් ගත්තා. සියල්ලන් සනසමින් ඒ පසේබුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

    සංසග්ග ජාතස්ස භවන්ති ස්නේහා
    ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති
    ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ
    එ්කෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ



    මේ සිතේ ආශාව හටගන්නේ අරමුණු සමඟ එක්වී සිටින කෙනෙක් තුළමයි. ශෝක වැළපීම් ආදී අනේක දුක්ඛයන්ගේ උපත ඔය ආශාවමයි. ආශාවෙන් උපදින ආදීනව ගැන නුවණින් විමසද්දී එයා එයින් නිදහස් වෙනවා. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.

පසේබුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද මෙම ගාථාව එදා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ අතීතය ඉස්මතු කොට අනඳ හිමියන්ට දේශනා කරද්දී අනඳ හිමියන් තුළ මොන තරම් අද්භූත වූ සිතුවිලි පහළ වෙන්නට ඇද්ද? ලොව පහළ වූ අසිරිමත් තථාගතයන් වහන්සේ නමක් තමා හමුවේ වැඩසිටිමින් හුදෙකලාවේ බුදු වූ නිර්මල සිත් ඇති, ‘පච්චේකබුද්ධනමින් ප‍්‍රකට මුනිවරුන් ගැන පවසද්දී පුදුමයට පත්නොවී සිටින්නේ කොහොමද?

සාදු! සාදු!! සාදු!!!

අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන පමණක් නොවෙයි. පසේබුදුරජාණන් වහන්සේලා ගැන පවා අපට හෙළිදරව් කොට වදාළා. අතීතය, වර්තමාන හා අනාගත යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඤාණයක් අපගේ ශාස්තෘන් වහන්සේ තුළ තිබුණා. එය හඳුන්වන්නේ අනාවරණ ඤාණයනමිනුයි. ඒ අනාවරණ ඤාණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේගේ පුබ්බේනිවාසානුස්සති ඤාණය උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතයේ සසර පෙළගැස්ම දැකීමට පමණක් සීමා වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේට ඕනෑම කෙනෙකුගේ ගෙවුණු අතීතය දැකගැනීමේ හැකියාව තිබුණා. පසේබුදුවරයන් වහන්සේලා ගැනත් අපට විස්තර කොට දෙන්නේ ඒ අසිරිමත් බුදු නුවණ මනාව හැසිරවීමෙනුයි.
අද අපි තවත් පසේබුදුවරයන් වහන්සේ නමක් ගැන ඉගෙන ගනිමු. ඒ පසේබුදුවරයන් වහන්සේලා වදාළ උතුම් ගාථාවන් ගැන දැනගන්නටත් මේ තුළින් අපට අවස්ථාව ලැබෙනවා. මෙහි අගට සඳහන් වන්නේ සුත්ත නිපාතයේ ඛග්ගවිසාණ සූත‍්‍රයට අයත් තුන්වන ගාථාවයි.
අප මේ කරුණු ගැන දැනසිටිය යුතුමයි. එනම් බුදුවරයන් වහන්සේලා, පසේබුදුවරයන් වහන්සේලා මෙන්ම මහ බෝසතාණන් වහන්සේලාද පහළ වන්නේ දඹදිව් තලයේ පමණක් බව. ජම්බුද්වීපය යනු බුදුවරුන්ගේ භූමියයි. කෙලෙස් තවන උතුමන්ගේ භූමියයි. එයිනුත් මධ්‍ය මණ්ඩලය ඉතාම වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය මධ්‍ය මණ්ඩලයයි. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේමයි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට හඳුන්වනු ලබන්නේ කේතුමතීනාමයෙන්. එම කේතුමතී නගරයේ තමයි මෛත‍්‍රී බුදුරජුන් පහළ වන්නේ.
මෙම කථාවේ සඳහන් වන පසේබුදුරජාණන් වහන්සේත් උපත ලැබුවේ බරණැස් නුවරයි. මුන්වහන්සේ ගිහි කල බරණැස් නුවර රජතුමා වශයෙනුයි කල් ගෙවා තිබුණේ. ලෝකයේ වෙන රටවල රජවරුන්ට වඩා දඹදිව රජවරුන්ගේ ප‍්‍රධාන වෙනසක් තියෙනවා. එනම්, ඒ රජවරුන් තුළ පවා සංසාර විමුක්තිය පිළිබඳව කිසියම් උද්වේගකර හැඟීම් තිබීමයි. ඇතැම් විට ඒ රජවරු ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු ගෙන්වාගෙන ධර්මය අසනවා. ඇතැම් රජවරු තමන්ගේ රාජකීය උද්‍යාන පවා ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරුන්ට පුදනවා. ඇතැම් රජවරු සියල්ල දන් දී තම රාජ්‍ය පවා අන් අයට පවරා වනගතව තපස් රකිනවා. රජවරුන්ගේ ඉතිහාසයේ විමුක්ති සාධනය පිණිස අබිනික්මන් කළ තොරතුරු සඳහන් වන්නේ දඹදිව් තලයේ පමණයි.
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පවා වෙස්සන්තර නමින් රජ කෙනෙක්ව සිටියා. එතුමා විමුක්තිය නාමයෙන් සියල්ල දන් දුන්නා. කොටින්ම තමන්ගේ නෙත් සඟල වන් ප‍්‍රියාදර දරු දෙදෙනා පවා දන් දුන්නා. තම බිසව පවා දන් දුන්නා. විමුක්තිය සෙවීම උදෙසා අසීමිත ආශාවකින් පෙළුණු මේ රජු දන් දෙන විට මහ පොළොව පවා කම්පා වී තිබෙනවා. වරෙක අප බෝසතාණන් වහන්සේ මඛාදේව නමින් රජ කළා. තවත් වරෙක දහම්සොඬ නමින් රජ වී ධර්මය ඇසීමෙහි කුල්මත් වූ ආශාවකින් යුතුව සියල්ල අත්හැර වනගත වුණා. මේ රජු ධර්ම ශ‍්‍රවණයට කොතරම් ගිජු ද යත්, යක්ෂයෙකුගේ වෙස් ගත් සක් දෙවිඳුගේ මුඛයට පනින්නට පවා පෙළඹුණා. මෙසේ විමසා බලද්දී දඹදිව රජ පරපුරෙහි ඇති මෙම සුවිශේෂත්වය ලෝකයෙහි වෙන කිසිදු රටක රජ පරපුරක් හා සසඳන්නට අසීරුයි.
පසේබුදුවරුන් පිළිබඳ කියැවෙන තොරතුරුවලදී පවා පැහැදිලි වන්නේ බොහෝ පසේබුදුවරු රජ මාළිගාවල රජකමට උරුම කියමින් ඉපදී ඇති බවයි. එමෙන්ම රජකම් කරමින් සිටියදී නිකෙලෙස් වී ඇති බවයි.
මෙම පසේබුදුවරයන් වහන්සේද බරණැස් නගරයෙහි රජ බවට පත්ව සිටියා. මොහු රජ කරමින් සිටියදී නොයෙකුත් උත්සව, සම්භාෂණ සහ පුදපූජාවන්වලටත් සහභාගී වුණා. නමුත් ක‍්‍රමක‍්‍රමයෙන් මේ රජුගේ සිත භාවනාවට යොමු වුණා. භාවනා කරද්දී සිත එකඟ වුණා. එහිදී රජතුමා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිදු වුණා. එනම් ප‍්‍රථම ධ්‍යානය උපදවා ගැනීමට සමත් වීමයි. ධ්‍යානයට සමවැදී එයින් නැඟිටි රජතුමා තමා ගත කරමින් සිටින ලෞකික ජීවිතයේත්, පංච නීවරණ යටපත් කොට ඇති කරගත් චිත්ත සමාධියේත් වෙනස පැහැදිලිව වටහා ගත්තා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.
ඔව්…! මං කුමාර අවධියේ කෙළිසෙල්ලමෙන් කල් ගෙව්වා. එකලත් මට සිතට ප‍්‍රීතිය දැනුණා. හැබැයි මෙම ධ්‍යාන සුවයෙන් ලබන නිරාමිස ප‍්‍රීතිය හා සසඳා බලද්දී කෙළි සෙල්ලමෙන් ලද ප‍්‍රීතිය නම් ලාමක දෙයක්මයි.
ඔව්…! මං උද්‍යාන ක‍්‍රීඩාවෙන් ප‍්‍රීතිමත් වුණා. මල් ගොමු සිසාරා ඇවිද ගියා. අශ්ව රේස් ගියා. සොබාදහමෙහි සොඳුරු දසුන් නරඹන්නට ගියා. ඒ සියලූ ප‍්‍රීතිය ඒ සැණෙකින්ම අවසන් වුණා. නමුත් ධ්‍යාන සුවයෙන් මා ලැබූ ප‍්‍රීතිය අභියස උයන් කෙළියෙන් ලබන ප‍්‍රීතිය නම් ලාමක දෙයක්මයි.
ඔව්…! අන්තඃපුරාංගනාවන් නිසා මට පංච කාමයම විඳින්න ලැබුණා. ලොව සිටින අභිරූපවත් සොඳුරු ළඳුන්ගේ පහස ලැබුණා. නමුත් ඒ වින්දනය හරිම වෙහෙසකරයි. පීඩාකාරීයි. සංසිඳීමක් නැති දෙයක්. යළි ඇවිස්සීමකට පත් කරවන දෙයක්. නමුත් නීවරණ සංසිඳවාගෙන මා ලද මේ දැහැන් සුවය සැබැවින්ම අසිරිමත්!
ඔව්…! රාජකෘත්‍යය නිසා මට යම්කිසි සතුටක් ලැබුණා. මගේ ආනුභාවය පැතිරවීමෙන් අමුතු සතුටක් මා වින්දා. මා බලය පැතිරවීමෙන් ලැබූ සතුට ඉතාමත්ම ගොරෝසුයි. එකිනෙකා කෙරෙහි සැකයෙන් යුතු, එකිනෙකා කෙරෙහි අධිපතිභාවය බලපැවැත්වීමෙන් ලබන සතුට මොනතරම් ලාමකද කියා මට වැටහෙන්නේ මේ දැහැන් සුවය හා සසඳා බලන විටයි.
ඔව්….! දැන් මට මේ රාජකීය ජීවිතය තුළ කිසි සැපතක් පෙනෙන්නෙ නෑ. එකවරම මෙය අත්හැරියොත් රට අවුල් වෙන්න පුළුවනි. නමුත්, මා ලද මේ විරාගී මානසික සුවය තරම් මගේ ජීවිතය සුවපත් කළ වෙන දෙයක් නෑ. මා කොහොමහරි බණ භාවනා කිරීම දිගටම ගෙනයන්න ඕන. දැන් කරන්න තියෙන්නේ ඇමතිවරුන් සතර දෙනෙකුට රජය පවරා මා වරින් වර සොයා බැලීමයි.
ඉතින් ඒ රජතුමා විශ්වසනීය ඇමතිවරු හතර දෙනෙක් කැඳෙව්වා. රාජ්‍ය පාලනය දැහැමිව කරගෙන යාමේ වටිනාකම පවසා සිටියා.
එම්බා ඇමතිවරුනි, රජකම් කිරීම නැණවතුන් විසින්ම කළ යුතු දෙයක්. මේ සඳහා විශේෂයෙන්ම හිතවත්කම අවශ්‍යයි. එකිනෙකා කෙරෙහි මිත‍්‍රභාවය අවශ්‍යයි. කිසි දිනෙක රාජ්‍ය ලෝභය උදෙසා එකිනෙකා කෙටවීම කළ යුතු නෑ. අල්ලස් ගණුදෙනු කළ යුතු නෑ. වංචා කළ යුතු නෑ. ඒ මිත‍්‍රත්වය තිබිය යුත්තේ පොදු ජනයාගේ යහපත උදෙසායි. හැබැයි, එකිනෙකා මිතුරු වී ජනතාව පෙළන්නට ගියහොත් රාජ්‍ය කෘත්‍යය අසාර්ථක වෙනවා.
ඇමතිවරුනි, ටික කලකට මට විවේකය අවශ්‍යයි. මට ටිකක් භාවනා කරගන්න ඕන. මං ඔබ පිටුපසින් ඉන්නවා. අවශ්‍ය විටෙක මා උපදෙස් දෙන්නම්. මා පරිද්දෙන්ම ඔබත් දැහැමින් සෙමෙන් රාජ්‍යය කරන්න.
එසේය, දේවයන් වහන්ස. ඔබවහන්සේ විවේකීව වැඩසිටින සේක්වා! බණ භාවනා කරන සේක්වා! අපි හතර දෙනා එකිනෙකාට මිත‍්‍රත්වයෙන්මයි වාසය කරන්නේ. අපි කවදාවත් සණ්ඩු සරුවල් කරගන්නෙ නෑ. අසමඟි වෙන්නෙ නෑ. ඔබතුමාගේ අදහස අපි ඉෂ්ට කරනවා.
ඉතින් රජතුමා ඉතාමත් සතුටට පත්වුණා. ඒ ඇමතිවරුන් සිව් දෙනාට රජකම පැවරුවා. මේ ඇමතිවරුත් ඉතාමත් සතුටින් සහ ගෞරව භක්තියෙන් යුතුව ටික දවසක් රජකම් කරගෙන ගියා. ටිකෙන් ටික මොවුන් බලයෙන් මත් වුණා. ඉසුරුමත් බවෙන් මත් වුණා. අධිපතිබවෙන් මුළා වුණා. තම තමන්ගේ හිත මිතුරන්ට විශේෂ ලෙන්ගතුකම් දක්වන්නට පටන් ගත්තා. අමුතු අනුකම්පාවල් කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික ඔවුන්ගේ සාධාරණ බව සහ දැහැමි බව වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන් අල්ලස් ගත්තා. හිමිකරුවා අහිමිකරුවා කළා. අහිමිකරුවා හිමිකරුවා කළා. කොතරම් උපදෙස් දුන්නත් ඔවුන්ගේ ක‍්‍රියාව අදැහැමි වූ නිසා රජය පිරිහෙන්නට පටන් ගත්තා.
එක්තරා දවසක් රජුගේ ළඟම හිතෛෂී කෙනෙකු පවා මහා කරදරයක වැටුණා. මේ ඇමතිවරුන්ගේ අල්ලස් ගැනිල්ල නිසා ඔහුට අසාධාරණයක් සිදුවුණා. ඔහු සතු දේ අහිමි වුණා. දිනක් මොහු රජුට ආහාර සපයන පිරිස සමඟ රජ මැදුරට ගියා. මේ සියලූ දූෂණ, වංචා පිළිබඳව හෙළිදරව් කළා.
රජතුමා මහත් සංවේගයට පත්වුණා. තමන් ඉතාමත් විශ්වාසයෙන් යුතුව පැවැරූ රාජ කෘත්‍යය මේ ඇමතිවරුන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් පිරිහෙලා දැමීම ගැන කණස්සල්ලට පත්වුණා. රජතුමාගේ බණ භාවනා කටයුතු අඩාල වෙන්න පටන් ගත්තා. සිත විසිරෙන්න පටන් ගත්තා.
දිනක් රජතුමා නඩු විසඳන අධිකරණ සමථ ශාලාවට පැමිණියා. එහිදී රජතුමා දුටු මහජනයා මහා හඬින් ඝෝෂා කරමින් කෝළාහල කරන්නට පටන් ගත්තා.
අහෝ! අපගේ දේවයන් වහන්ස, නුඹවහන්සේ කොහි වැඩසිටි සේක්ද? නුඹවහන්සේව දැකීම පවා අපට සැපයකි. නුඹවහන්සේගේ ඇමතිවරු මෙම රාජ්‍යය වනසනවා…. ඔවුන් අල්ලස් ගන්නවා. හිමිකරුවන්ව අහිමිකරුවන් කරවනවා. අහිමිකරුවන්ව හිමිකරුවන් කරවනවා. ඔවුන්ගේ එකම ඉලක්කය රාජ බලය තුළින් ධනවත් වීම විතරයි. අහෝ! දේවයන් වහන්ස, මෙයින් අපව මුදවා ගන්නා සේක්වා!
හැඬූ කඳුලින් යුතුව පොදු ජනයා විසින් කරනු ලබන මෙම උද්ඝෝෂණය නිසා රජතුමා මහත් කම්පාවට පත්වුණා. දයා විරහිත ඇමතිවරුන් මිතුරන් අතරේ සම්පත් බෙදා ගන්නට ගොස් යහපත වනසා දමා ඇති අයුරු වැටහුණා. රජතුමාත් වෙනදා මෙන්ම භාවනා කරන්න පටන් ගත්තා. එදා භාවනා කරගත නොහැකි වුණා. චිත්ත සමාධිය නැතිවුණා. ධ්‍යානය නැතිවුණා.
එදා රාත‍්‍රියේ රජතුමා සඳළුතලයට ගොඩවුණා. කල්පනා කරන්නට පටන් ගත්තා.
ඔව්! මං දැන් තීරණයක් ගත යුතුයි. එක්කො මේ භාවනා කටයුතු අත්හැර දමා නැවත රාජ්‍ය පාලනය කළ යුතුයි. එසේත් නැතිනම් රාජ්‍ය පාලනය අත්හැර දමා දිගටම භාවනාව කළ යුතුයි….. මේ බරණැස් නගරයේ පහළ වූ පළවෙනි රජු මං නොවෙයි. අවසාන රජුත් මං නොවෙයි. අවුරුදු දහස් ගණනක රාජාවලියක් තියෙනවා. අනිත් රජවරුන්ගේ කාලයේදීත් මේ තත්වයම තියෙන්න ඇති. කෙලෙස් සහිත ලෝකය තුළ අවංක රාජ්‍ය පාලනයක් නම් කිසිසේත් බලාපොරොත්තු වෙන්න බෑ.
අපේ පරපුරේ රජවරු හිටියා. සමහරු රජකම අත්හැර තපස් රැක්කා. සමහරු අවසන් සුසුම හෙලද්දීත් රජකමට ලොබ බැන්දා. සැබැවින්ම ජයගත්තේ රජකම අත්හළ පිරිසයි. එනිසා මාත් යම්කිසි තීරණයක් ගත යුතුයි.
ඔව්…! මේ රජකමට ආසා කිරීමෙන් ඇති ඵලය කුමක්ද? මං මෙය අත්හරිනවා අත්හරිනවාමයි.
රජතුමා රජකමට ඇති ආශාව අත්හැරියා. මහජනයාට සිදු වී ඇති විපත ගැන හටගත් චිත්ත පීඩාවත් අත්හැරියා. ඇමැතිවරුන් ගැන හටගත් අමනාපයත් අත්හැරියා. නැවතත් භාවනා කරන්නට පටන් ගත්තා. රජුගේ සිත වහා එකඟ වුණා. සමාධිමත් වුණා. ධ්‍යානගත වුණා. රජතුමා නුවණින් විමසන්න පටන් ගත්තා.
මේ හැම කරදරයක්ම වෙන්නේ ඉපදීම නිසයි. එතකොට අපි ඉපදුණේ කවර හේතුවක් නිසාද? මේ උපන් හේතුව ප‍්‍රහාණය කළ නොහැකිද? ඉපදීමෙන් නිදහස් විය නොහැකිද? නෑ…. උපතින් නිදහස් වීමක් තිබිය යුතුමයි. උපදින හේතුව සොයා ගත යුතුමයි.
රජතුමා ටිකෙන් ටික ඉපදීමට හේතුව සොයන්න පටන් ගත්තා. ජීවිතයේ කිසි දිනෙක නොඇසූ විරූ කිසියම් අද්භූත වැටහීමක් රජතුමා තුළ ඇතිවෙන්න පටන් ගත්තා. උපතට හේතුව භවය බව රජතුමාට වැටහුණා. භවයට හේතුව උපාදානය බව වැටහුණා. උපාදානයට හේතුව තෘෂ්ණාව බව වැටහුණා. තෘෂ්ණාවට හේතුව වින්දනය බව වැටහුණා. වින්දනයට හේතුව ස්පර්ශය බව වැටහුණා. ස්පර්ශයට හේතුව ආයතන හය බව වැටහුණා. ආයතන හයට හේතුව නාමරූප බව වැටහුණා. නාමරූපයට හේතුව විඤ්ඤාණය බව වැටහුණා. විඤ්ඤාණයට හේතුව සංස්කාර බව වැටහුණා. සංස්කාරවලට හේතුව අවිද්‍යාව බව වැටහුණා.
අවිද්‍යාවෙන් හටගන්නා මෙම වැඩපිළිවෙල නිසා උපන් සත්වයා පිළිසිඳගත් මොහොතෙහි පටන් මරණය දක්වාම අනාරක්ෂිත බව තුළින් හටගන්නා කිසියම් බියජනක ස්වභාවයකින් පෙළෙන බවත්, මෙය දුක බවත්, මෙය සනාතන සත්‍යයක් බවත් වැටහුණා. මේ දුක හටගන්නේ මෙයට ඇලූම් කිරීම නිසා බවත් වැටහුණා. ඇල්මෙන් නිදහස් වූ විට සියලූ බිය තැතිගැනීම් වලින්, සියලූ දුකින් නිදහස් විය හැකි බවත් වැටහුණා. මේ සඳහා කළ යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සමාධියත්, ප‍්‍රඥාවත් වැඞීම බවත් වැටහුණා. රජතුමා තුළ අවිද්‍යාව ක‍්‍රමක‍්‍රමයෙන් දුරු වී ගොස් චතුරාර්ය සත්‍යාවබෝධ්‍ය නම් වූ විද්‍යාව පහළ වුණා. ආසවක්ඛය ඤාණය ඇතිවුණා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.
දැන් මේ පසේබුදුරජාණන් වහන්සේ උඩුමහල් තලයේ සිට පහතට වැඩියා. රාජාභරණයෙන් සැරසී සිටින රජු හැටියට තවමත් පෙනෙන නිසා ඇමතිවරු පැමිණ රජතුමා මුණගැසුණා. රාජ්‍යකරණයට අනුශාසනා කරන්න කියා පවසා සිටියා.
මං දැන් රජ කෙනෙක් නෙවෙයි. රජකම ගැන සිතීම මේ සිතෙන් සදහටම අයින් වුණා. මගේ සිතේ යම්කිසි විරාගී සතුටක් තියෙනවා. ලොව කිසිවෙකුට නොඇලූණ කිසියම් අද්භූත චමත්කාරයක් මට දැනෙනවා. ඒ නිසා මං දැන් මේ රාජකීය ජීවිතයට අයත් නෑ කියලයි මට වැටහෙන්නේ. මට හිතෙන්නේ මං තුළ කුමක්දෝ අසිරිමත් වෙනසක් වෙලා තියෙනවා කියලයි.
ඒ කියන්නේ දේවයන්වහන්ස, ඔබවහන්සේ පවසා සිටින්නේ කිසියම් ජීවිතාවබෝධයක් ලැබුවා කියලද? අප අසා තිබෙන්නේ විරාගී සතුටක් විඳින ජීවිතාවබෝධය ලබන්නේ පච්චේකබුද්ධනම් වූ ශ‍්‍රමණයන් වහන්සේලා බවයි. ඉතින් ඔබවහන්සේ එවැනි කෙනෙක් නොවෙයිනේ…. ඒ පසේබුදුවරයන් වහන්සේලා කෙස් රැවුල් බාලා තියෙනවා. පාත‍්‍රා සිවුරු දරනවා. පිඬු සිඟා යැපෙනවා.
එතකොට මෙතුමා හිස අතගෑවා. ඒ සැණින්ම කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත‍්‍රාභරණ නොපෙනී ගියා. ඉර්ධිමය ආකාරයෙන් සිවුරු පිරිකර පෙරවී ගියා. අතට පාත‍්‍රයක් ලැබුණා. ශ‍්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වුණා. එවේලෙහි ඇමතිවරු උන්වහන්සේ පාමුල වැඳවැටුණා.
අනේ පින්වතාණන් වහන්ස, ඔබවහන්සේ මේ රාජ්‍යය අත්හැර වඩින්න එපා! අපට අනුකම්පා කරන්න. ඔබවහන්සේගේ කරුණා මෛත‍්‍රියෙන් යුතු පාලනය අපි හැමෝටම සැපයක්. ඒ තුළින් අපට යහපත උදා වෙනවා.
එවිට ඒ පසේබුදුරජාණන් වහන්සේ මෙම උදානය පහළ කොට අහසට පැන නැංගා.
මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ
හාපේති අත්ථං පටිබද්ධ චිත්තෝ
ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

මිතුරන් සමඟ සුහද වෙලා ඔවුන්ට පමණක් අනුකම්පා කරන්නට ගියොත්, ඔවුන් කෙරෙහි දැඩි ලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත්, ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරුවෙලා යනවා. මිතුරන් සමඟ එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා. දැන් මං නිදහස්! ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.
සාදු! සාදු!! සාදු!!!
අපගේ ශාස්තෘන් වහන්සේ ගෙවුණු අතීතයෙහි සැඟවී ගිය අසිරිමත් මුනිවරුන්ගේ චරිතාපදානයන් පෙළගස්වා වදාරද්දී නැවත වතාවක් අපට පසේබුදුවරයන් වහන්සේ නමකගේ තොරතුරක් මුණ ගැසෙනවා. පසේබුදුවරුන් ද නිතර පහළ වන්නේ නෑ. උන්වහන්සේලා පවා පහළවන්නේ ඉතාමත්ම කලාතුරකින්. දෙඅසංඛෙය්ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා භව ගමන නිමා කරන පසේබුදුවරුන්ගේ ජීවිත බාහිර ලෝකයන්ට හඳුනාගැනීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. එනිසාම පසේබුදුවරුන්ට අපහාස කොට, ගරහා, හිරිහැර කොට, ඇතැම් විට උන්වහන්සේලාව ඝාතනය කොට නිරයට ගිය ඇතැම් අවාසනාවන්ත පුද්ගලයන් ගැන පවා බුදුරජාණන් වහන්සේ හෙලිදරව් කොට තිබෙනවා.
තනි තනිවම ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ඒ පසේබුදුවරයන් වහන්සේලා ගැන අපට සිත පහදවා ගත හැකිව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ පවසා වදාළ නිසාය. බුද්ධ ශූන්‍ය කල්පවල පවා පසේබුදුවරුන්ගේ තොරතුරු සුලභ නොවේ. බුද්ධ කල්පය පහළ වෙන්නට පෙරාතුව හෙවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නට කලිනුයි පසේබුදුවරුන්ගේ යුගය ඇතිවන්නේ. මෙය ලෝකයේ පවතින සුවිශේෂී ධර්මතාවක්.
අනන්ත සසර පුරාවට විමුක්තිය උදෙසා කෙනෙක් කරනු ලබන අසාමාන්‍ය කැපවීමක ප‍්‍රතිඵලයක් වශයෙනුයි මෙය හැඳින්විය හැක්කේ. අද අපි කතා කරන්නේ පසේබුදුවරයන් වහන්සේලා තුන් නමක් පිළිබඳවයි.
මිනිස් ආයුෂ වසර විසිදහසක් පැවති යුගයේදී තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ. එකල බුදු සසුනේ පැවිදි වූ ශ‍්‍රාවකයින්ද විසි දහසක් අවුරුදු පිළිවෙත් පුරමින් ධර්මයේ හැසිරුණා. එම කාශ්‍යප බුද්ධ ශාසනයෙහි අපූරු යහළුවන් තිදෙනෙක් පැවිදි වුණා. මේ තිදෙනා ඉතාමත්ම සමඟි සම්පන්නයි. පිළිවෙත් සරුයි. ගුණදහමට නැඹුරුයි. මේ සොඳුරු ශ‍්‍රමණයන් වහන්සේලා තුන්නම ඉතාමත් සතුටින් ගතපච්චාගතනම් වතක් පුරුදු කළා.
ගතපච්චාගත වත පිරීමේදී ඒ සඳහා බලවත්ව සිහිනුවණ පුරුදු කළ යුතුයි. පිඬු සිඟා වඩින විටත්, පෙරළා කුටියට වඩින විටත් නොවෙනස්ව භාවනා අරමුණෙහි සිහිය පවත්වා ගැනීම ගතපච්චාගත වතෙහි ඇති සුවිශේෂී බවයි. එනම් භාවනානුයෝගී එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ගතපච්චාගත වත පුරන කෙනෙක්. එය කරන්නේ මෙහෙමයි. දැන් උන්වහන්සේට පිඬු සිඟා වඩින්නට වෙලාව පැමිණෙනවා. එවිට මනා සිහි නුවණින් යුතුව ප‍්‍රත්‍යවෙක්ෂා කරමින් අඳනය අඳිනවා. ඉණ පටිය බඳිනවා. තනිපට සිවුර පොරවනවා. සඟල සිවුර පොරවනවා. පාත‍්‍රය සෝදා ප‍්‍රත්‍යවෙක්ෂා කරමින් දෝතට ගන්නවා. කුටියෙන් එළියට වඩින්නට පෙර භාවනා අරමුණ සළකා ගන්නවා. එය මෛත‍්‍රී භාවනාව හෝ අසුභ භාවනාව හෝ බුද්ධානුස්සති භාවනාව හෝ අනිත්‍යානුපස්සනාව හෝ විය හැකියි. එම භාවනාව සිහි කරමින් කුටියෙන් එළියට පළමු පියවර තබනවා. ඒ මොහොතේ සිට උන්වහන්සේ කරන්නේ බාහිර අරමුණකට සිත විසිරෙන්නට නොදී අර භාවනාවෙහිම සිහිය රඳවා ගැනීමයි.
එසේ පිඬු සිඟා වඩිද්දී මංමාවත්වල විවිධාකාර සතුන් මුණගැසෙනවා. මිනිසුන් මුණගැසෙනවා. කුඩා දරුවන් මුණගැසෙනවා. යානවාහන මුණගැසෙනවා. ඇතැම් විට නොයෙක් කලකෝලාහල, නැටුම්, ගැයුම්, වැයුම් ආදී අරමුණු මෙන්ම සිතෙහි කෙලෙස් ඇවිස්සෙන අරමුණු ද මුණගැහෙනවා. ඒ කිසිවකට තම සිත යා නොදී කුටියෙන් එළියට වඩිද්දී සිහි කළ අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි.
පිඬු සිඟා වඩිද්දී නොයෙක් අයුරේ ආහාරපාන ලැබෙනවා. පිළුණු දේ ලැබෙනවා. වියළි දේ ලැබෙනවා. දියර දේ ලැබෙනවා. ඉතා ප‍්‍රණීත සුවඳින් යුතු දේ ද ලැබෙනවා. ඒ කිසිවකටත් නොගැටී, නොඇලී අර පටන් ගත් භාවනා අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි.
මේ අයුරින් කුටියෙන් පිටතට වඩිද්දී සිහි කරන ලද්දේ යම් භාවනා අරමුණක් ද, ඒ අරමුණ නොවෙනස්ව පවත්වා ගනිමින් පෙරළා කුටියට පැමිණ තමන් එළියට වඩිද්දී පය තැබූ තැනම පය තබා සිහිය සම්පූර්ණ කිරීම ගතපච්චාගත වතයි.
මෙය කියන, ලියන පමණින් කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. ඇතැම්විට ඉතා උනන්දුවෙන් භාවනා අරමුණ සිහියට ගෙන මෙනෙහි කරමින් පිටත් වෙනවා. ටික දුරක් යද්දී කිසියම් දායකයෙක් ඒ භික්ෂුව සමඟ කතා කරනවා. අර භික්ෂුවත් ඒ කතාවට පැටලෙනවා. භාවනා අරමුණ ගිලිහී යනවා. ඉන්පසු කරන්නේ නැවත බාහිර අරමුණු සමඟ එක්වීමයි. කමටහන අමතක වෙනවා. පෙරළා පැමිණෙද්දී ඇතැම්විට සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. එවිට ගතපච්චාගත වත සම්පූර්ණ වන්නේ නෑ.
තව කෙනෙකුට මෙහෙම වෙනවා. භාවනා අරමුණකින් තොරව පිණ්ඩපාතයේ වඩිනවා. පෙරලා කුටියට වඩිද්දී භාවනා අරමුණ මතක් වෙනවා. බාහිර අරමුණුවලට විසිරුණු සිතින් පිඬු සිඟා ගිය මං දැන්වත් සිහි නුවණින් ආපසු වැඩිය යුතු යැයි සිතා කමටහනට සිත යොමු කරනවා. එබඳු ක‍්‍රමයකින් ගතපච්චාගත වත සම්පූර්ණ වන්නේ නෑ.
යම් කෙනෙක් මුලින් කියූ ආකාරයෙන් ගතපච්චාගත වත සම්පූර්ණ කරත් නම් ඒ තැනැත්තා අද්භූත වූ පිනක් රැස් කරගන්නවා. ඒ තැනැත්තාගේ විමුක්ති සාධනය පිණිස තමාව මෙහෙයවන අදිසි බලවේගය බවට පත්වන්නේ එසේ රැස් කරගත් පිනයි.
ඉතින් කසුප් බුදු සසුනෙහි පැවිදි වූ මේ තිදෙනා වහන්සේ ඉතාමත් ඕනෑකමින් යුතුව ගතපච්චාගත වත සම්පූර්ණ කළා. සමථ විදර්ශනා භාවනා ධර්මයන්හි යෙදුණා. කසුප් බුදු සසුනෙන් මඟපල ලබන්නට මේ තිදෙනාටම අවස්ථාව නැතිවුණා. නමුත් මුන්වහන්සේලා ගතපච්චාගත වත පුරමින් ගත කළ සසුන් ජීවිතය කිසිසේත් අපතේ ගියේ නෑ. තිදෙනා වහන්සේම දෙව්ලොව උපන්නා.
කාශ්‍යප බුද්ධ ශාසනය ක‍්‍රමක‍්‍රමයෙන් අතුරුදහන්ව ගියා. බුදු කෙනෙකුගේ ධර්මය නොඇසී ගියා. ආර්ය සත්‍යාවබෝධය පිළිබඳ කථාව නාමමාත‍්‍රයකින් හෝ ඉතුරු නොවී අතුරුදහන්ව ගියා. මිනිසුන්ගේ ආයුෂ ක‍්‍රමක‍්‍රමයෙන් අඩුවුණා. අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වන්නට පෙරාතුව එක්තරා සොඳුරු යුගයක් ලොව උදාවුණා. එනම් පසේබුදුවරුන්ගේ යුගයයි. ඒ පසේබුදුවරුන්ගේ යුගයේදී දෙව්ලොව ඉපිද සිටි අර ශ‍්‍රමණයන් වහන්සේලා අතරින් වැඩිමහලූ තැනැත්තා බරණැස් නුවර රජ කුලයේ උපන්නා. අනිත් දෙදෙනා ඈත පිටිසර ප‍්‍රාදේශීය රජකුලවල උපන්නා.
ප‍්‍රාදේශීය රජකුලවල උපන් අර කුමාරවරු දෙදෙනා ශිල්ප ශාලාවෙහිදී අඹයහළුවන් බවට පත්වුණා. ඔවුන්ගේ මිත‍්‍රත්වය ඉතාමත් පි‍්‍රයශීලී දෙයක් වුණා. රජවරුන් බවට පත් වූ පසුත් ඒ දෙදෙනාගේ මිත‍්‍රත්වය නොවෙනස්ව පැවතුණා. මේ රජවරු දෙදෙනා වරින්වර මුණගැසෙනවා. සාමාන්‍යයෙන් රජවරුන් මුණගැසෙද්දී කෙරෙන්නේ නෘත්‍ය සංදර්ශන පැවැත්වීමයි. නැතහොත් මධුපානෝත්සව පැවැත්වීමයි.අන්තඃපුරාංගනාවන් සේවනය කිරීමයි. නැතහොත් දඩයමේ යාමයි. නමුත් මේ රජවරු දෙදෙනා අර සියලූ රජවරුන්ගෙන් වෙන්ව කැපී පෙනෙනවා. මේ දෙදෙනා එකතු වූ විට භාවනා කරනවා. මෙසේ භාවනා කරගෙන යද්දී දෙදෙනා තුළම ටිකෙන් ටික චිත්ත සමාධිය වැඩුණා.
ප‍්‍රිය මිත‍්‍රයාණෙනි, අපගේ මේ රාජකීය ජීවිතය මට වැටහෙන්නේ ඉතා නිසරු දෙයක් බවයි. මොහොතක් බලනු මැනැව. බොහෝවිට සෑම රජ කෙනෙක්ම මේ රජකම ලබන්නේ උපතින් ලැබෙන දායාදයක් ලෙසයි. නමුත් මේ රජකම ලැබූ විට ඔවුන් තමන්ගේ කාමභෝගී සුඛ විහරණය වෙනුවෙන් ඒ රාජානුභාවය කැප කරනවා. ඔය අතරේ නොයෙක් යුධ කෝළාහලවල පැටලෙනවා. ඇතැම් විට ප‍්‍රාදේශීය රාජ්‍යයන් ආක‍්‍රමණය කරනවා. රාජ්‍ය සීමා පුළුල් කරගන්නවා.
ප‍්‍රිය මිත‍්‍රයාණෙනි, කුමක්ද ඔවුන් සොයන්නේ? අසිපත්වල රුධිරය තවරමින් ජයග‍්‍රහණයක් උදෙසා ඔවුන් මෙහෙයවන සටන අවසන් වන්නේ මධුපානෝත්සව වලින් හා ස්ත‍්‍රී ලෝලත්වයෙන් නොවෙයිද?
ප‍්‍රිය මිත‍්‍රයාණෙනි, මා කල්පනා කරමින් සිටින්නේ මේ රාජ්‍යය මාගේ සොයුරාට පවරා දිගටම භාවනාවේ යෙදීමටයි.
එතකොට අනිත් රජතුමා නෙත් විදහා සතුටින් සිනහසුණා.
අගෙයි! අගෙයි! ප‍්‍රිය මිත‍්‍රයාණෙනි, සැබැවින්ම පසුගිය දින කිහිපය මුළුල්ලෙහි මාත් සිත සිතා සිටියේ ඔබ සිතූ කරුණුමයි. රාජකීය ජීවිතය තුළ ඇති ආනුභාව සම්පන්න ආටෝපයට වඩා මහත් මානසික වෙහෙසක් එහි තියෙනවා. නමුත් ප‍්‍රිය සගයාණෙනි, අප දැන් පුරුදු කරන භාවනාවෙන් මොනතරම් ශාන්තියක් අප අත්විඳිනවාද? මට වුණත් එහෙම තමයි. මා බොහෝ විට අස්වැසිල්ලක් ලබන්නේ චිත්ත සමාධිය පුරුදු කිරීමෙනුයි.
දිනක් මේ රජවරු දෙදෙනා සඳළු තලයෙහි භාවනානුයෝගීව සිටියා. දෙදෙනා තුළම කිසියම් අපූර්ව වූ පරිවර්තනයක් සිදුවෙන්නට පටන් ගත්තා. දෙදෙනාගේම සිත් මැනැවින් එකඟ වී ගියා. දැහැන්ගත වුණා. සතරවෙනි ධ්‍යානය දක්වා සිත වැඞී ගියා. දෙදෙනාම ජීවිතය පිළිබඳව නුවණින් විමසන්නට පටන් ගත්තා. උපත හා මරණය අතර ජීවිතය භවයක් භවයක් පාසා ගැටගසන සියළු රහස් හෙළිදරව් වෙන්නට පටන් ගත්තා. දෙදෙනා තුළම විදර්ශනා ප‍්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. දෙදෙනාම නිකෙලෙස් බවට පත්වුණා. අරහත්වයට පත්වුණා.පසේබුදුවරයන් වහන්සේලා බවට පත්වුණා. දෙදෙනාම බොහෝ වේලාවක් අරහත්ඵල සුවයෙන් වැඩසිටියා.
ඇමතිවරු පැමිණ රජවරුන්ට යන්නට වේලා ඇතිබව දැනුම් දුන්නා.
දේවයන් වහන්ස, දැන් රෑ බෝ වුණා. දැන් ඔබවහන්සේලා සිරියහන්ගැබට වඩින්නට වෙලාවයි.
පින්වත, අපි රජවරු නොවෙයි. අප තුළ කිසියම් විරාගී ශාන්ත බවක් ඇති වී තිබෙනවා. මේ මාළිගාව අපට දැන් කැප නෑ. සියලූ ලොවින් නිදහස් වූ අසීමිත තෘප්තිමත් බවක් දැන් අපි අත්විඳිනවා. ඇත්තෙන්ම අපි කැමතියි හුදෙකලා බවට.
ඈ! දේවයන් වහන්ස, ඒ කියන්නේ ඔබවහන්සේලා ජීවිතය පිළිබඳව කිසියම් අවබෝධයක් ලැබූ බවක්ද?”
ඔව්! අපට කිසියම් අවබෝධයක් ලැබූ බවක් වැටහෙනවා. ඒ අවබෝධය මේ ලෝකයට අයත් දෙයක් නොවෙයි. මේ ලෝකය ඉක්මවා ගිය දෙයක්. අමුතු හුදෙකලාවක් ඒ අවබෝධය තුළ තියෙනවා. ඒ තුළ කිසි භයක් තැතිගැනීමක් නෑ. අපූර්ව ස්වාධීනත්වයක් තියෙනවා.
එතකොට තව ඇමතියෙක් විමසුවා,
දේවයන් වහන්ස, මං අහලා තියෙනවා භය, තැති ගැනීම් නැති මුනිවරයන් වහන්සේලා ගැන. උන්වහන්සේලාට කියන්නේ පච්චේකබුද්ධ කියලයි. හැබැයි දේවයන් වහන්ස, ඔබවහන්සේලාට මෙන් රාජාභරණ පැළඳ, සුවඳ පැනින් නහවා පන්තිවලට පීරූ කෙස් කළඹක් ඒ පසේබුදුවරුන්ට නැහැ. පසේබුදුවරු කියන්නේ ශ‍්‍රමණ පිරිසක්. කෙස් රැවුල් බාලා, පා සිවුරු ඇතිව කල් ගෙවන ශ‍්‍රමණ පිරිසක්. දැන් ඔබවහන්සේලා කියන්නේ තමන් වහන්සේලා ඒ ශ‍්‍රමණයන්ට අයිතියි කියාද?”
එතකොට රජ ඇඳුමින් සැරසී සිටි දෙදෙනාම හිසට අත තිබ්බා. සැණෙකින් කෙස් රැවුල් නොපෙනී ගියා. රජ ඇඳුම් නොපෙනී ගියා. සිවුරු පෙරවුණා. පාත‍්‍රා අත රැඳුණා. දෙදෙනාම මාළිගයෙන් බැස නොපෙනී ගියා.
මේ පසේබුදුවරයන් වහන්සේලා හිමාලයට වැඩම කළා. පසේබුදුවරුන්ගේ භූමිය වන නන්දමූලක නම් කඳුවලල්ලෙහි ගල් ලෙන් තුළ වැඩසිටියා.
දිනක් මේ පසේබුදුවරයන් වහන්සේලා දෙනම සමවත් සුවයෙන් නැගිට ජීවිතය පිළිබඳව කතා බස් කරන්නට පටන් ගත්තා.
මං මගේ අතීතය විමසා බැලූවා. මේ අවබෝධය පිණිස පින් රැස්කරගෙන පැමිණි ගමනේදී මං කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදිව පිළිවෙත් පුරා තිබෙනවා. එකල අවුරුදු විසිදහසක් මා මහණදම් පුරා තිබෙනවා. එකල ඔබ මගේ යහළුවෙක්.
එය එසේමයි. මාත් මගේ අතීතය විමසා බැලූවා. අපි දෙදෙනා කාශ්‍යප බුදු සසුනේ රැස් කළ පිනක් උපකාර කරගෙන තියෙනවා. හැබැයි, ඒ කසුප් බුදු සසුනෙහි මිත‍්‍ර සන්ථවයෙන් යුතුව මහණදම් පිරුවේ අප දෙදෙනා පමණක් නොවේ. අපගේ කළණමිතුරු සභාවේ තවත් කෙනෙක් සිටිනවා. ඔහු ගැන ඔබ දුටුවාද?”
එසේය. මම දිටිමි. දැන් ඔහු තමයි බරණැස රාජ්‍යයෙහි අධිපති රජතුමා. බලන්න ජීවිතයේ වෙනස. එදා කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදි කිස පුරද්දී ඔහු තමයි අපටත් අවවාද අනුශාසනා කරමින් වත්පිළිවෙත් කරන්නට අනුබල දුන් අපගේ වැඩිමහළු ස්වාමීන් වහන්සේ. එදා අප ලද ඒ අනුශාසනාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස දැන් අප විරාගී සුව විඳිනවා. එහෙත් තාම ඔහු රාජ්‍ය පාලනයෙන් සතුටු වෙනවා.
එසේය, මාත් අපගේ අතීත මිතුරාණන් තවම හමු නොවීම ගැන විමසා බැලූවා. ඔහු රාජ ඉර්ධියෙන් කුල්මත්ව සිටිනවා. කුසලයෙහි සිත නගාලන්නට වෙහෙසෙන බවක් පෙනෙන්නේ නෑ. නමුත් මා සිතන්නේ අප තුළ ඇති වූ වෙනස ඔහු තුළ ඇතිවීම පිණිස අප සහයෝගය දිය යුතු බවයි. එදා කසුප් බුදු සසුනෙහි පිළිවෙත් පුරන්නට අපව දිරිමත් කළ කරුණු අපට සිහිවෙන හෙයින් අපිත් ඔහුට කෘතගුණ සළකමු.
ඉතින් දිනක් බරණැස් නුවර රජතුමා සියලූ රාජාභරණයෙන් සැරසී උද්‍යාන ක‍්‍රීඩාවට පිටත් වුණා. එවිට අහස් කුස වළා අතරින් එක්තරා සෙවණැලි දෙකක ලකුණු පෙනී ගියා. ක‍්‍රමක‍්‍රමයෙන් ඉතා පියකරු ශ‍්‍රමණයන් වහන්සේලා දෙනමක් මැවී ගියා. ඒ ශ‍්‍රමණයන් වහන්සේලා රාජකීය උද්‍යානයේ දොරටුව අසළ පිහිටි සුවිසල් උණ පඳුරු සෙවණේ වැඩසිටියා.
වෙනදාට රජතුමා උද්‍යාන ක‍්‍රීඩාවට වඩිද්දී ජනතාව ප‍්‍රීතියෙන් ඔල්වරසන් දෙනවා. නෙත් විදහා බලා සිටිනවා. ගුණ ගයනවා. එහෙත් අද ඊට වෙනස්. අද කරන්නේ රැස් වූ ජනතාව කිසියම් අද්භූත දෙයක් දෙස බලා සිටීමයි. ඇඟිලි දිගු කරමින් පෙන්වීමයි. රජතුමා මෙහෙම හිතුවා.
අද මොකක්ද මේ වෙනස? මෙවැනි දෙයක් කවදාවත්ම වුණේ නෑ. මාගේ රටවැසියන් තම රජු වෙනුවෙන් නිරන්තරයෙන් යටහත්පහත් බව දක්වනවා. ආදර ගෞරව දක්වනවා. මා දෙසම ඇසිපිය නොහෙලා බලා සිටිනවා. මට ආසිරි පතනවා. අද කුමක්ද මේ සිදුවී තිබෙන්නේ? උද්‍යාන දොරටුව දෙසටමයි මහා ජනකාය නෙත් අයා සිටින්නේ….. අර…. කවුද? ඉතාම පියකරු ශ‍්‍රමණයන් වහන්සේලා දෙනමක්. ෂා….! සැබැවින්ම සුන්දරයි! මනස්කාන්තයි!
රජතුමාට මේ ශ‍්‍රමණයන් වහන්සේලා දුටු පමණින් අද්භූත හැඟීම් පහළ වෙන්නට පටන් ගත්තා.
හරි පුදුමයි! අපි ලස්සන වෙන්න මොනතරම් දේවල් කරනවාද? ගාම්භීර බව පෙන්වන්න මොනතරම් ආභරණ පළඳිනවද? ජනතා ආකර්ශනය ලබන්න මොනතරම් විවිධ විචිත‍්‍ර ඇඳුම් අඳිනවද? අර ශ‍්‍රමණයන් වහන්සේලාට කිසිවක් නැහැ. නමුත් උන්වහන්සේලා තුළ අද්භූත පියකරු බවක් තියෙනවා. අලෞකික සුන්දරත්වයක් තියෙනවා. දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වැනි අපූර්වත්වයක් තියෙනවා.
රජතුමා ඇතුපිටින් බැස්සේ තමාටත් නොදැනීමයි. රජතුමාගේ සිතෙහි මේ අහසින් වැඩි අද්භූත ශ‍්‍රමණයන් වහන්සේලා දෙනම දුටු කෙණෙහි අමුතු ආදරයක් හටගත්තා. ලෙන්ගතු කමක් හටගත්තා. සෙනෙහෙබර හැඟීම් ඇතිවෙන්න පටන් ගත්තා. රජතුමා ඒ ශ‍්‍රමණයන් වහන්සේලා ළඟට ගොස් මහත් ආදරෙන් කතා කළා.
පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔබවහන්සේලා දුටු පමණින් මගේ සිතෙහි ගැඹුරු සෙනෙහසක් ඇතිවුණා. පැහැදීමක් ඇතිවුණා. ඔබවහන්සේලාගේ ඉරියව්වල යම්කිසි උදාරත්වයක් පෙනෙනවා. ඇත්තෙන්ම මං කැමතියි ඔබවහන්සේලාගේ නම් දැනගන්න.
පින්වත් මහරජතුමනි, අපි නොගැටී සිටින්නමෝයන නම් ඇති අය වෙමු.
එතකොට රජතුමා සතුටෙන් සිනහසුණා. ප‍්‍රීතියට පත්වුණා. ඒ නම තුළින් කියැවෙන අරුත දැනගන්න ආසා කළා.
පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, සැබැවින්ම එය අපූරු නමක්. ඒ නම තුළින් කියවෙන අර්ථය දැනගන්නත් මා කැමතියි.
පින්වත් මහරජතුමනි, ඒ නමේ ලස්සන අරුතක් තියෙනවා. යම්කිසි දෙයකට ගැටෙන්න නම් එහි ඇලී සිටිය යුතුයි. නොගැටී සිටින්නට නම් නොඇලී සිටිය යුතුයි. පින්වත් මහරජතුමනි, නොඇලී සිටීමමයි එහි ඇති අර්ථය.
පින්වත් මහරජතුමනි, දැන් බලන්න මේ උණ පඳුර දෙස. මේ උණ පඳුර පුරාවට උණ ගසක් ගානේ කඳින් කඳ පවා එකට ඇලී තියෙනවා. වෙලී තියෙනවා. පැටලී තියෙනවා. මේ උණ පඳුරේ අත්තෙන් අත්ත පවා ඒ ඒ අතුවලට එකට වෙලී තියෙනවා. පැටලී තියෙනවා. ඒ වගේම මහරජතුමනි, මේ මුල් දෙස බලන්න. උණ ගසින් උණ ගසට මුල් පවා පැටලී තියෙනවා. වෙලී තියෙනවා. එකතු වී තියෙනවා. එකට සිර වී තියෙනවා.
ඉතින් මහරජතුමනි, අපි සිතමු මෙහෙම. ඔන්න තියුණු කඩුවක් අතින් ගෙන පුරුෂයෙක් එනවා. ඔහු මේ එකට වෙලී පැටලී තියෙන උණ ගසක මුල කපා ඒ ගස පිටතට අදින්නට ගියහොත් මොනතරම් අපහසු වෙයිද?
පින්වත් මහරජතුමනි, අපට සිතෙන්නේ මේ සුවිශාල ලෙස වැඞී එකට පැටලී මුලට මුල පෑස්සී අත්තෙන් අත්ත එකතු වී කඳින් කඳ ගැටී ඇති උණ ගසත් ඔබතුමා වගේමයි කියා. ඔබතුමාටත් මේ උණ පඳුර ලෙසින් වෙලී සිරවී බැඳී පැටලී ඇතුළට පිටත අවුල්ව ගිය ජීවිතයක් නොවෙයිද තිබෙන්නේ?
පින්වත් මහරජතුමනි, මේ බලන්න. කුඩා උණ ගොබයක් තියෙනවා. තවම මේ උණ ගොබය උණ පඳුර අස්සට වැඞී ගොස් සිරවෙලා නැහැ. අත්තෙන් අත්ත පැටලිලා නැහැ. කඳෙන් කඳ පැටලිලා නැහැ. මෙය යම් කෙනෙකුට මුලින් කපා පහසුවෙන් ගලවා ගන්නට පුළුවන් නේද?
පින්වත් මහරජතුමනි, අපිත් රජවරු වෙලා හිටියේ. අපේ රජකම උණ පඳුරේ සිර වූ මහා උණ ගසක් හැටියට නෙවෙයි තිබුණේ. කුඩා උණ ගොබයක් හැටියටයි. අපට ඉතාමත් ලේසියෙන් ඒ උණ ගොබය ගලවා ඉවත් කරගන්න පුළුවන් වුණා. දැන් අපි නිදහස්! අපි අමුතු සුන්දර හුදෙකලාවකයි ජීවත් වෙන්නේ. ඒ නිදහස තුළ සිටින අතරේ තමයි මේ අපි හමුවන්නේ.
මෙසේ පැවසූ ඒ පසේබුදුවරයන් වහන්සේලා දෙනම රජතුමා බලාසිටියදීම අහසට පැනනැඟුණා. නොපෙනී ගියා. රජතුමා පුදුමයෙන් ගල් ගැසී බලා සිටියා. ඇඟ කිලිපොලා ගියා. ලොමු ඩැහැගත්තා. අද්භූත කම්පනයක් හටගත්තා. උගුර කට වියැළී ගියා. රජතුමා නිහඬව කල්පනා කරන්න පටන් ගත්තා. පෙරළා හැරී ගොස් ඇතු පිට නැග්ගා. උද්‍යාන ක‍්‍රීඩාවට ගියේ නැහැ. මාළිගාවට පිටත් වුණා.
මේ සිදුවීමෙන් පසු ඒ රජතුමාගේ ජීවිතය බලවත් විපර්යාසයකට පත්වුණා. සඳළුතලයට ගොඩවුණ රජතුමා ඈත අහස දෙස බලාසිටිමින් කල්පනා කරනවා.
ඔව්! ඇලීමක් නිසාමයි ගැටීමක් හටගන්නේ. ඇලීමක් නැත්නම්, මොනවට ගැටෙන්නද? ඇත්ත! මමත් මේ ඇලීමත්, ගැටීමත් අතර නොවෙයිද සිරවී සිටින්නේ….?”
රජතුමා බිම වාඩි වුණා. පළඟක් බැඳගත්තා. නෙත් පියා ගත්තා. භාවනා කරන්නට පටන් ගත්තා. තමාටත් නොදැනීම සිත යොමු වුණේ ආශ්වාස ප‍්‍රශ්වාසයටයි. ක‍්‍රමක‍්‍රමයෙන් රජතුමාගේ සිත සංසිඳෙන්නට පටන් ගත්තා. සමාධිගත වෙන්නට පටන් ගත්තා. සසරේ පුරන ලද පුණ්‍යානුභාවය නිසා ඒ සිත වහා දැහැන්ගත වුණා. ඇලීමත්, ගැටීමත් අතර මේ සිත පවතින්නේ මක්නිසාද කියා රජතුමා විමසන්නට පටන් ගත්තා. ක‍්‍රමක‍්‍රමයෙන් ජීවිතය පිළිබඳව මෙතෙක් නොඇසූ විරූ අවබෝධයක් ඇතිවෙන්නට පටන්ගත්තා. විදර්ශනා ප‍්‍රඥාව වැඩෙන්නට පටන්ගත්තා. උණ පඳුරක සිරවී ඇති වැඩුණු උණ ගසේත්, පහසුවෙන් ගැලවිය හැකි උණ ගොබයේත් වෙනස වැටහෙන්නට පටන් ගත්තා. දූ පුතුන් කෙරෙහිත්, අඹුදරුවන් කෙරෙහිත් නොඇලී සිටින ප‍්‍රඥාව මතුවෙන්නට පටන් ගත්තා. නිකෙලෙස් බවට පත්වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා.
රජතුමාගේ මේ වෙනස දැනගත් රජබිසවත්, දරුවනුත් රජතුමා වටකරගත්තා. ආදර බස් දොඩන්න පටන්ගත්තා. දිගටම රාජ්‍යකරණයේ යෙදෙන්න කියලා අයැදින්න පටන් ගත්තා. එතකොට රජතුමා මෙහෙම පිළිතුරු දුන්නා.
මට දැන් ඒවා කිසිවක් කැප නෑ. මගේ ලෝකය තුළ ඒ කිසිවක් නෑ. මං දැන් අපූරු නිදහසක් භුක්ති විඳිනවා. අද්භූත විරාගී බවකින් මේ සිත පිරී තියෙනවා.
ඒ කියන්නේ අර ශ‍්‍රමණයන් වහන්සේලා පැවසූ නොඇලෙන, නොගැටෙන අපූර්වත්වය ඔබවහන්සේ තුළත් ඇතිවුණා කියලද? ඔබතුමා රජෙක් නොවැ! රජෙක් තුළ කොහොමද එවැනි දෙයක් ඇතිවෙන්නේ? එවැනි දේ ඇතිවෙන්නේ කෙස් රැවුල් බා, කසාවත් දරා සිටින ශ‍්‍රමණයන් වහන්සේලා තුළ නොවේද?”
එතකොට තවමත් රජකෙනෙකුගේ වේශයෙන් සිටින මෙතුමා හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන්ව ගියා. කසාවත් පෙරැවී ගියා. සොඳුරු ශ‍්‍රමණයන් වහන්සේ නමක් දිස්වුණා. ඒ පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.
වංසෝ විසාලෝ ව යථා විසත්තෝ
පුත්තේසු දාරේසු ච යා අපේඛා
වංසකලීරෝ ව අසජ්ජමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ
අඹුදරුවන් ගැන මේ හිත බැඳී ඇති ආකාරය පිළිබඳව හරි විදිහට කල්පනා කොට බැලූවොත් එක පඳුරේ පැටලී ගිය සුවිශාල උණ ගසක් වගෙයි. නමුත් උණ ගොබය එහෙම නෑ. එය තිබෙන්නේ කිසිවක නොපැටලී. මං කැමති එයටයි. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.
සාදු! සාදු!! සාදු!!!
අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේ නමක් පැවසූ තවත් ගාථාවක් ගැන වදාළා. සසරෙහි කරන ලද අනන්ත පුණ්‍යානුභාවයෙන් යුතු එක්තරා දිව්‍ය පුත‍්‍රයෙක් දිව්‍ය සැප විඳිමින් වාසය කළා. මේ දිව්‍ය පුත‍්‍රයාගේ ආයුෂ ක‍්‍රමක‍්‍රමයෙන් නිමා වෙමින් තිබුණා.
ඔය අතරේ මිනිස් ලොව ද පසේබුදුවරුන්ගේ යුගය පහළව තිබුණා. එකල බරණැස් නුවර රජුගේ අන්තඃපුරයෙහි විසිදහසක් පුරාංගනාවන් සිටියා. ඔවුන් කිසිවෙකුටත් පිරිමි දරුවෙකු පිළිසිඳගත්තේ නෑ. මේ නිසා අමාත්‍ය මණ්ඩලය පවා රජතුමාට රජ පරපුර අවසන් වීමෙහි අනතුර පෙන්වා දුන්නා.
පින්වත් දේවයන් වහන්ස, රජ පරම්පරාව ඔබවහන්සේගෙන් අවසන් විය යුතු නෑ. ඉදිරියටත් රජ පරම්පරාව පැවැත්විය යුතුයි. එසේ නොවුණහොත් අප සියලූ දෙනාටම අනතුරක්. එනිසා දේවයන් වහන්ස, ඔබවහන්සේට දාව පුත් කුමරෙක් ලබාගැනීම අප අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන දෙයක්මයි.
මේ ගැන රජතුමාත් කල්පනාවට වැටුණා. රජකමට සුදුසු පින්වත් දරුවෙක් ලබන්නට නම් බිසව සිල්වත් විය යුතු බව එකල කවුරුත් දැනසිටියා. ඉතින් රජතුමා ඒ සඳහා යම්කිසි උපෝසථ සීලයක අගබිසව සමාදන් කරවන්නට කල්පනා කළා. ඇමතිවරු රජතුමාට උපදෙස් දුන්නා.
දේවයන් වහන්ස, ඔබවහන්සේගේ බිසවුන් වහන්සේලා අතර අගබිසව ඉතාමත් ඤාණවන්තයි. ඉතාමත් සීලවන්තයි. එනිසා මහරජතුමනි, යම් කුලාංගනාවක් සැබෑ බස් තෙපලන්නී ද, සිල්වත් වන්නී ද ඕ තොමෝ උදාර වූ පුණ්‍යවන්ත වූ පුත‍්‍රලාභය පිණිස භාග්‍ය දරන්නීය. මහරජතුමනි, හිරිඔතප් දරණ අපගේ අගබිසවුන් වහන්සේ පුත‍්‍රලාභයට සුදුසුවන බව අපගේ ඒකාන්ත විශ්වාසයයි.
මෙකරුණ සැළ වූ විට රජබිසව මහත් ප‍්‍රීතියට පත් වුණා. සතුටු වුණා. උදාර වූ පුත්රුවනක් ලැබීමට තරම් තමා පිනැත්තියක බව සිහි කරමින් සතුටු වුණා. ඇය පුන් පොහෝ දිනයෙහි සුවඳ පැන් නා, සුදු වත් හැඳ, උඩු මහලට ගොස් සිල් සමාදන් වුණා. වත් පිළිවෙත් පිරුවා. මෙත් වැඩුවා. ඇයගේ පුණ්‍යානුභාවය තව්තිසා දෙව්ලොව දක්වා පැතිර ගියා.
දිනක් එලෙස මෙත් වඩමින් සිටියදී ඇය ඉදිරියෙහි එක්තරා දෙවියෙක් පෙනී සිටියා. ඒ දෙවියා අන් කවරෙකුවත් නොව සක්දෙවිඳු බව ඇය දැනසිටියේ නෑ. ඒ සක් දෙවිඳුන් ඇය ඉදිරියේ සිට මෙසේ විමසුවා.
පින්වත් රාජදියණියෙනි, මම ඔබ කෙරෙහි පහන් වූ සිතැත්තෙමි. එනිසා ඔබට වරයක් දෙනු කැමැත්තෙමි.
මෙය ඇසූ අගබිසව මහත් ප‍්‍රීතියට පත්වුණා. සිත පිනා ගියා. බබලන නෙතින් යුතුව ගෞරවාචාර කරමින් දෑත් බැඳගත් ඕ තොමෝ සක් දෙවිඳුන් හට මෙසේ පැවසුවා.
අනේ පින්වත් දේවතාවුන් වහන්ස, මම මහත් දුකට පත් වූ තැනැත්තියක් වෙමි. පින්වත් පුත් රුවනක් පතාගෙන මා උතුම් සීලයක් දරා සිටින්නියක වෙමි. වත්පිළිවෙත් කරමින් මෙත් වඩමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මා හට පුත් රුවනක් ලබා දෙන වරයක් දෙන සේක්වා!
පින්වත් රාජදියණියෙනි, සතුටින් වසනු මැනැව. නොබෝ දිනෙකින් නුඹගේ මන දොළ සපිරෙන්නේය!
එසේ පැවසු සක් දෙවිඳු නොපෙනී ගියා. දෙව්ලොව පහළ වුණා. දිව්‍ය සභාව රැස් කළ සක් දෙවිඳු විමසන්නට පටන් ගත්තා.
පින්වත් දෙවිවරුනි, මනුලොව එක්තරා රාජ දියණියක් පින්වත් පුත් රුවනක් පතා බොහෝ පින් කරයි. සිල් ගුණදම් රකියි. මේ සභාවෙහි ආයුෂයාගේ අවසානය කරා යන දෙව්පුත්හු සිටිත්ද?”
පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, මෙතැන සිටිනා අපගේ මහා පදුම නම් දෙව්පුතු දෙස බලනු මැනැව. මේ දිව්‍යපුත‍්‍රයාගේ ආයුෂ අවසන් වෙමින් තිබේ. දැන් මොහුගේ අදහස ඉහළ දිව්‍ය ලෝකයක ඉපදීමටයි.
දරුව, මහා පදුම. ඔබට ගැලපෙන්නේ ඉහළ දෙව්ලොවක ඉපදෙන්නට නොවේ. ඔබට ගැලපෙන්නේ මිනිස් ලොවයි.
පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, මා සිතා සිටින්නේ මනු ලොව යෑමට නොවෙයි. ඇත්තෙන්ම මට මිනිස් ලොව පිළිකුල්. මා කැමති මීට වඩා උසස් දිව්‍ය ලෝකයක උපදින්නටයි.
දරුව, එසේ නොකියන්න. මේ දෙව්ලොව එන්නට පළමු පින් රැස් කරගන්නා ලද්දේ මිනිස් ලොවදී බව අමතක කරන්නේ මන්ද? එනිසා යළිත් ඔබට පින් කරගැනීමට අවස්ථාවක් ලැබී තිබේ.
අහෝ! ශක‍්‍ර දේවේන්ද්‍රය, දස මාසයක් මාතෘ ගර්භයක වාසය කිරීමට මා තුළ කිසි කැමැත්තක් නැහැ. ඇත්තෙන්ම මව් කුසක උපදින්නට මට වුවමනාවක් නැහැ…. නැහැනැහැමයි.
පින්වත් දරුව, ඇත්ත. මව්කුසක උපදින්නට ඔබේ කැමැත්තක් නැති බව මට වැටහේ. මිනිස් ලොව උපදින්නට මව්කුසක්ම වුවමනාද? පින්වත් දරුව, ඔබට ඕපපාතිකව මිනිස් ලොව උපදින්නට වාසනාව තිබේ. එනිසා ඔබට උපත උරුමව තිබෙන්නේ නෙළුම් මලක උපදීමටයි. එය ඔබ විසින් පෙර භවයේ කරන ලද පිනක් නිසා ලැබෙන දෙයක්.
සක් දෙවිඳුන් එසේ පැවසූ විට මහා පදුම දිව්‍යපුත‍්‍රයා මිනිස් ලොව ඉපදීමට කැමති වුණා. ඔහු දෙව්ලොවින් චුත වුණා. බරණැස් රජුගේ උද්‍යානයෙහි ගල් තලාවක් මැද ඇති පොකුණෙහි විශාල නෙළුම් කෙමියක මෙම දිව්‍යපුත‍්‍රයා ඕපපාතිකව ඉපදුණා.
එදා හරි අපූරු දෙයක් සිදුවුණා. එනම් අගබිසව සිහිනයක් දැකීමයි. විසි දහසක් කුලාංගනාවන් පිරිවරා උයන් පොකුණට පැමිණි ඇයට නෙළුම් කෙමියක සිඟිත්තෙක් දකින්නට ලැබීමයි. ඈ පසුදින උදෑසන සිල් සමාදන් වුණා. වත්පිළිවෙත් කළා. මෙත් වැඩුවා. අන්තඃපුරාංගනාවන් පිරිවරා පොකුණ වෙත පැමිණියා. එසේ පැමිණෙද්දී එක්තරා මල් කෙමියක ඇති විශේෂත්වයක් ඇය දුරදීම දැක්කා. ඇය දුවගෙන ගොස් ඒ මල් පොහොට්ටුව ආදරයෙන් වැළඳගත්තා. ඒ මොහොතේ ඒ මල් කෙමියේ මල් පෙති එකින් එක විහිදෙන්නට පටන් ගත්තා. රන්වන් පාටින් බැබලෙන සියුමැලි සිඟිත්තෙක් ඒ මල් කෙමිය මැද නිදා සිටියා.
මේ අසිරිය දුටු සියලූ කුලාංගනාවන් ප‍්‍රීතිඝෝෂා කළා. මහත් උත්සවශ‍්‍රීයෙන් මේ පින්වත් සිඟිත්තාව මාළිගය කරා රැගෙන ගියා. සියලූ දෙනාගේම ආදරය මේ දරුවාට ලැබුණා. අන්තඃපුරයේ සියලූ කාන්තාවන්ගේ අතින් අත යන මේ දරුවාට ආදර සැලකිලි දක්වන්නට හැමෝම එක්වුණා. අනේ පුතේ, මෙයත් කන්න. මෙයත් බොන්න. මෙයත් අනුභව කරන්නකියමින් පෙරැත්ත කර කර ආහාරපාන කැවීම නිසා මේ දරුවාට හැම දෙයක්ම එපා වුණා. මේ කුමරා ඒ වධයෙන් බේරීම පිණිස දොරටුව ළඟට දුව යනවා. ලෝහ ගුලියක් ගෙන සෙල්ලම් කරනවා.
දිනක් එක්තරා පසේබුදුවරයන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිද්දී මේ කුමරා අසලටත් පැමිණියා. මේ ශ‍්‍රමණයන් වහන්සේ දුටු කුමාරයා කෑ ගසා මෙහෙම කිව්වා.
අනේ පින්වත් ශ‍්‍රමණය, මේ පැත්තෙ එන්න එපා! මෙහෙ මිනිසුන්ගෙන් හරී කරදරයි. අරක කන්නලූ. මේක කන්නලූ. කිසි නිදහසක් නෑ.
කුමරා දුටු පමණින් පසේබුදුවරයන් වහන්සේ කරුණු තේරුම් ගත්තා. හුදෙකලාවේම ජීවිතය අවබෝධ කරන වාසනාව මොහු තුළ ඇති බව හඳුනාගත්තා. එනිසාම කුමරා කියූ වදන් ඇසූ සැණින් උන්වහන්සේ ඉදිරියට නොගොස් පෙරළා ආපසු වැඩියා. කුමාරයාට මෙය මහත් ප‍්‍රහේලිකාවක් වුණා.
අනේ…. ශ‍්‍රමණයන් වහන්සේ නැවතුණා. ආපසු හැරිලා වැඩියා. එහෙම වුණේ මා කියූ දෙයට උන්වහන්සේගේ සිත රිදුණා වත්ද? මා සමඟ අමනාප වුණා වත්ද? තරහා ගත්තා වත්ද?”
පිරිවර ජනයා මෙහෙම පිළිතුරු දුන්නා.
පින්වත් කුමරුනි, ශ‍්‍රමණයන් වහන්සේ ඔය වගේ සුළු කතාවකින් විතරක් නොවෙයි, ඔයිට වඩා සැරට බැන්නත් හිත රිද්දා ගන්නෙ නෑ. තරහ වෙන්නෙත් නෑ. උන්වහන්සේලා අනුන් පූජා කරන දෙයින් යැපී මෙත් සිතින් නෙව වාසය කරන්නේ.
අනේඑහෙම කිව්වට මට නම් සිතෙන්නේ මාගෙන් වරදක් වුණා කියලයි. මා කියූ දෙය නිසා උන්වහන්සේගේ සිත රිදී ඇති බවයි මට සිතෙන්නේ.
ඉන්පසුව කුමාරයා මව්පියන්ට සැළකර රාජ පිරිවර සමඟ බරණැස ඉසිපතනයට ගියා. එවකට ඉසිපතනයේ වැඩසිටියේ පසේබුදුවරයන් වහන්සේලාය. කුමාරයා පිරිස සමඟ ඉසිපතනයට ගිය විට ඇස් විදහා ගත් මුව පැටවුන් එහාට මෙහාට දුව පැන යන අයුරු දැක ඉතා සතුටට පත්වුණා.
අනේ අර මුවන් නේද? උන් හරි සතුටින් නේද ඉන්නේ?”
ඔව්, කුමාරයාණෙනි, ඒ මුවන් තමයි. උන් හරි සතුටින් ඉන්නේ.
එතකොට ඔය මුවන්ට මේකත් කන්න, අරකත් කන්නකියලා වධ කරන්න කවුරුවත් නෑ?”
අනේ කුමරුනි. මේ මුවන්ට එහෙම වධයක් නෑ. යම් තැනක කෑමට තණකොළ තියෙනවා නම්, බීමට ජලය තියෙනවා නම්, අනතුරකුත් නැත්නම්, උන් හරි නිදහසේ වාසය කරනවා. කැමති විදිහට වාසය කරනවා.
මේ ප‍්‍රකාශයත් සමඟම කුමාරයාගේ සිත වෙනස් වෙන්න පටන් ගත්තා. නිදහසක ඇති අගය වැටහෙන්න පටන් ගත්තා. මුවෙක් මෙන් සැහැල්ලූවෙන් වසන්නට ඇත්නම් කොතරම් අගේදැයි සිතෙන්නට පටන් ගත්තා. කුමාරයා තවදුරටත් පසේබුදුවරයන් වහන්සේ වැඩසිටින තැන සොයමින් ගියා. එසේ සොයමින් යද්දී ඒ වන රුප්පා සෙවණේ සුදු වැලි අතුල මනා කොට හැමද ඇති සක්මන් මලූවක් දකින්නට ලැබුණා. ඉතා ශාන්ත වටපිටාවක් දකින්නට ලැබුණා. එහෙත් ඒ කුමාරයා සොයන ශ‍්‍රමණයන් වහන්සේ දකින්නට ලැබුණේ නෑ.
කුමාරයාණෙනි, නිසැකවම මෙතන තමයි ඒ ශ‍්‍රමණයන් වහන්සේ ඉන්නවා ඇත්තේ. උන්වහන්සේ වඩිනකම් අපි ටිකක් ඉමු.
අනේ මට නම් සැකයි. මං උදේ පැවසූ දෙය නිසා උන්වහන්සේගේ සිත රිදුණා. දැන් මහා පිරිවර සේනාවක් සමඟ මං මේ පැමිණි නිසා උන්වහන්සේගේ සිත තවත් රිදෙන්න ඇති. ඒ නිසා ඔබලා මෙතන නවතින්න. මෙතනින් ඔබ්බට කවුරුත් එන්න එපා. මං තනියම උන්වහන්සේව හෙයාගෙන යනවා.
කුමාරයා තනිවම රුක් සෙවණේ සොය සොය ගියා. සිනිදු වැලි අතුරා ඇති මාවතේ කෙනෙක් ඇවිද ගිය පියවර සටහන් තියෙනවා. ඒ පියවර සටහන් ඔස්සේ කුමරු තවත් ඈතට ගියා. කුඩා කුටියක් දැක්කා. ඒ කුටිය ළඟට ගියා. හිමිහිට දොර ඇරියා. කවුරුවත් නෑ. වටපිට බැලූවා. භාවනාව පිණිස වාඩිවෙන්නට සුදුසු ලස්සන ගල් තලාවක් තිබුණා. කුමාරයාට මෙහෙම හිතුණා.
ඔව්! මෙතන තමයි ශ‍්‍රමණයන් වහන්සේ වැඩඉන්නවා ඇත්තේ. උන්වහන්සේ වඩින තුරු මා මේ ආසනයේ වාඩිවෙන්නට ඕන. උන්වහන්සේ මේ අසුනේ වාඩිවෙලා කල්පනා කරන්න ඇත්තේ වෙළහෙලදාම් ගැන නොවෙයි. රජකම් ගැන නොවෙයි. ජීවිතය ගැනයි. මාත් මේ ජීවිතය ගැන හිතන්න ඕන.
කුමරා දෑස පියාගෙන භාවනා කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික චිත්ත සමාධිය දියුණු වුණා. ධ්‍යාන සමාපත්ති ඇතිවුණා. ජීවිතය ගැන විමසන්නට සිත යොමු කරද්දී ප‍්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. සියල්ල අනිත්‍ය බවත්, එනිසාම අනාරක්ෂිත බවෙන් ඇතිවන බිය හටගන්නා බවත්, එයම දුක බවත්, එනිසාම තමාගේ වසඟයේ පවත්වාලිය නොහැකි බවත් අවබෝධ වුණා. හේතුඵල දහමෙන් හටගත් සියල්ලේ ආදීනව ප‍්‍රකට වුණා. අවබෝධයෙන්ම කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා.
කුමාරයා සමඟ පැමිණි පිරිවර සේනාව සෑහෙන වේලාවක් මඟ බලා සිටියා. කුමාරයා හැරී එන පාටක් නෑ. ඔවුන් ටික ටික ඇතුළට ආවා. වටපිට සොයන්න පටන් ගත්තා. එතකොට ගල් තලාවක භාවනානුයෝගීව සිටින කුමාරයාව දැකගන්නට ලැබුණා. ඔවුන් ළංවෙද්දී කුමාරයා ඇස් පිය හැර බැලූවා.
පින්වත් කුමාරයාණෙනි, ශ‍්‍රමණයන් වහන්සේ බැහැදකින්නට අපි හෙට එමු. දැන් අපට කල් ගත වෙනවා. රජ්ජුරුවන් වහන්සේ අපගේ ප‍්‍රමාදය ගැන උදහස් වෙන්නටත් පුළුවනි. එනිසා පින්වත් කුමරුනි, අපි හෙට පැමිණ ශ‍්‍රමණයන් වහන්සේ කමා කරගනිමු. දැන් ඉතින් අපි යමු. එනිසා ඔය ගැන එච්චර හිතන්න ඕන නෑ.
ඒක ඇත්ත. මං ඒ ගැන කොහෙත්ම හිතන්නේ නෑ. වෙන දෙයක් ගැන සිතන්නෙත් නෑ. සිත පැටලී යන ලෝකයෙන් මං නිදහස් වෙලයි ඉන්නේ. විරාගී සිතක අසිරිය මට දැන් වැටහෙනවා.
සේනාව පුදුමයට පත්වුණා. ඇසිපිය නොහෙළා කුමරු දෙස බලා සිටියා. ඔවුන්ට මෙය අදහා ගන්නට බෑ.
අනේ පින්වත් කුමරුනි, මේ වචන හරි වෙනස්. මොහොතකට පෙර අප සමඟ කතා කළ කුමාරයා නොවෙයිද මේ ඉන්නේ? මෙතරම් ඉක්මනින් මේ ඇති වූ පරිවර්තනය කුමක්ද? ලෝකය සමඟ නොපැටලී ගිය සිතක් ඇති කරගැනීම ලෙහෙසි වැඩක් නොවෙයි. අප සොයා පැමිණි ශ‍්‍රමණයන් වහන්සේ අයිති වන්නේ පච්චේක බුද්ධ යන උතුමන්ටයි. ඔබත් එවැනි පච්චේකබුද්ධ කෙනෙක් බවට පත්වුණා වත්ද? ඒ පසේබුදුවරයන් වහන්සේලා ඔබ වගේ නොවෙයි. උන්වහන්සේලා කෙස් රැවුල් බාලා කසාවත් පොරවාගෙනයි ඉන්නේ.
එතකොට කුමාරයා තමන්ගේ හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන් වුණා. ගිහි වස්ත‍්‍ර අතුරුදහන් වුණා. කසාවත් පෙරැවුණා. සියුමැලි ශ‍්‍රමණයන් වහන්සේ නමකගේ රුවක් දිස්වුණා. ඒ පසේබුදුවරයන් වහන්සේ මිහිරි ස්වරයෙන් මේ ගාථාව පැවසුවා.
මිගෝ අරඤ්ඤම්හි යථා අබද්ධෝ
යේ නිච්ඡකං ගච්ඡති ගෝචරාය
විඤ්ඤූ නරෝ සේරිතං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ
තොණ්ඩුවකට හසු නොවී ඉන්න මුවා නිදහසේ මයි වනයේ හැසිරෙන්නේ. තණ කොළ බුදින්නට කැමති කැමති අයුරින් ඒ සතා නිදහසේ යනවා. බුද්ධිමත් මනුෂ්‍යයා කිසිවෙකුට නොබැඳී ස්වෛරීව නිදහසේ ජීවත් වීමට මං සොයනවා නම්, මාත් දැන් ඒ වගේ කෙනෙක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.
සාදු! සාදු!! සාදු!!!
අපගේ ශාස්තෘන් වහන්සේ තවත් පසේබුදුවරයන් වහන්සේ නමක් වදාළ ගාථාවක් අනඳ මහතෙරුන් වහන්සේට වදාළා. පසේබුදුවරයන් වහන්සේලා පිළිබඳව තොරතුරු ස්වල්පයක් අප දැන් දන්නවා. උන්වහන්සේලා තුළ ඇතිවෙන ඒ හුදෙකලා අවබෝධය පිණිස පාදක වෙන්නේ යම්කිසි අත්දැකීමක්. එම අත්දැකීම ඔස්සේ ප‍්‍රඥාව මෙහෙයවාලීමෙහි අපූර්ව කුසලතාවක් උන්වහන්සේලා තුළ තිබී තියෙනවා. බොහෝ විට පසේබුද්ධත්වය ලබා තිබෙන්නේ රජ පවුලේ උපන් කෙනෙක්මයි. මෙය ද පුදුම සහගත දෙයක් ලෙසයි අපට වැටහෙන්නේ. එමෙන්ම වර්තමානයේ පවතින නොයෙකුත් සාමාජික, ආර්ථික, දේශපාලනික මතිමතාන්තර ඔස්සේ විමසා බලා පසේබුදුවරුන් ගැන වටහා ගැනීම දුෂ්කර බව අප තේරුම් ගත යුතුයි. උන්වහන්සේලා ගැන සිත පහදවා ගන්නට නම් පච්චේකබුද්ධ බවට පත්වන ඒ මුනිවරයන් වහන්සේලාගේ විස්මිත චරිතාපදානයන් ඒ අයුරින්ම වටහා ගත යුතුයි.
පසේබුදුවරුන් පිළිබඳව නම් ගොත් රාශියක් අපට පෙන්වා වදාළ ඉසිගිලි සූත‍්‍රයෙහි අවසානයට මෙසේ සඳහන් වෙනවා.
ඒතේ ච අඤ්ඤේ ච මහානුභාවා
පච්චේකබුද්ධා භවනෙත්තිඛීණා
තේ සබ්බසංගාතිගතේ මහේසී
පරිනිබ්බුතේ වන්දථ අප්පමෙය්යෝති
මේ බුදුවරු හා අනෙකුත් මහානුභාව බුදුවරුන් ද
භව බන්ධන සිඳ බිඳ ලූ උතුම් පසේ බුදුවරුන් ද
මහ ඉසිවර මේ බුදුවරු සියලූ කෙලෙස් නැති මුනිවරු
පිරිනිවනට වැඩි මුනිවරු අපමණ ගුණ ඇති බුදුවරු
පින්වත් මහණෙනී ඔබත්, වන්දනා කරව් නිරතුරු
මෙයින් පැහැදිලි වන්නේ පසේබුදු රජාණන් වහන්සේලා වන්දනා කිරීමට අපව පොළොඹවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින් මය. එමෙන්ම උන්වහන්සේ කිසිවිටෙකත් බෝසතාණන් වහන්සේලා වන්දනා කරන්න කියා හෝ, බෝසතාණන් වහන්සේලාට පුද පුජා පවත්වන්නට කියා හෝ බාරහාර වෙන්නට කියා හෝ වදාළ තැනක් අපට හමු නොවේ.
පසේබුදුවරයන් වහන්සේලා ගැන සඳහන් ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි හයවෙනි ගාථාවට අයත් පසුබිම් කථාව මෙයයි. බරණැස් නුවර එක රජකෙනෙක් හිටියා. ඔහුගේ නම ඒකවජ්ජික. මොහු ඉතාමත් මෘදු ගති පැවැතුම් ඇති කෙනෙක්. කිසි කෙනෙකුගේ හිත රිද්දවන්න අකමැති කෙනෙක්. තමන් රජෙක් බවවත් නොසළකා ඇමතිවරුන් කියන ඕනෑම ගමනක් යන්න මේ රජු සූදානම්. මොහුගේ ගුණවත්කමින් ඇමතිවරු අයුතු ප‍්‍රයෝජන ගත්තා.
රාජපුරුෂයන් යුතු අයුතුබව නොසළකා, යහපත අයහපත නොසළකා, සුදුසු නුදුසු බව නොසළකා රජතුමාට කරදර කරනවා. එක ඇමතියෙක් මුල්ලකට කතා කොට රජතුමාගේ කණට කොඳුරා මොනවා හරි දෙයක් කියනවා. තව ඇමතියෙක් රජතුමා ආහාර පාන ගන්නට ගිය විට කණට කොඳුරා තව දෙයක් කියනවා. ඇතැම් විට රජතුමාට අවශ්‍ය දෙයක් කරගන්නට ලැබෙන්නේ නෑ.
එක් දිනක් රජතුමා සිරියහන් ගැබෙහි සැතැපී සිටියා. එතකොට රජතුමාට පණිවිඩයක් ආවා.
දේවයන් වහන්ස, මට කතා කරගත යුතු වැදගත් කරුණක් තියෙනවා. එය පැවසිය යුත්තේ අනිවාර්යයෙන්ම ඔබවහන්සේ සමඟ පමණයි. ඔබවහන්සේ මුණගැසීම මට වුවමනාමයි.
පණිවිඩකරු කියූ ආකාරයට රජතුමා සිතුවේ කිසියම් වැදගත් භාරදූර රාජකාරියක් අරභයා යම්කිසි කතාබහක් කරන්නට තියෙන බවයි. රජතුමා සිරියහනෙන් නැගිට්ටා. ඇමතියා අඬගැසූ තැනට ගියා. මෙතරම් කඩිමුඩියේ කලබලයේ බරපතල ආකාරයෙන් පැවසූ කරුණ කුමක්දැයි ඇසීමට රජතුමාත් විස්මයෙන් බලා සිටියා. නමුත් ඇමතියා ප‍්‍රකාශ කළේ කිසි වැදගැම්මකට නැති දෙයක්!
තව දිනක් වෙන ඇමතියෙක් කතා කළා.
මෙය කිව යුත්තේ ඔබවහන්සේටමයි. මෙකරුණ වෙන කෙනෙක් සමඟ කතා කොට පලක් නැහැ. එනිසා ඔබවහන්සේව මට අසවල් තැනදී අනිවාර්යයෙන්ම මුණ ගැසෙන්නට ඕන.
ඉතින් රජතුමා එතනට ගියා. අර ඇමතියා උගුර පාදලා, රැල්බුරුල් හැරලා, නළලෙහි රැළි නංවා, දෙකණ් සොළවා, උඩු රැවුල පිරිමැද කිසි වැදගැම්මකට නැති දෙයක් කිව්වා.
එක දවසක් තව ඇමතියෙක් රජතුමාට කිව්වා,
රජතුමනි, මහා වැදගත් කරුණක් තියෙනවා. ඔබවහන්සේට මෙය සැළකිරීමට මහා උපස්ථාන ශාලාවට වඩින්නට ඕන. ඔබවහන්සේ වෙනුවෙන් සියලූ ආරක්ෂාව තියෙනවා. මේ කරුණේ වැදගත්කම සළකා ඔබවහන්සේ වඩින්න.
රජතුමා කලබල වුණා. වහාම උපස්ථාන ශාලාවට සැපත් වුණා. එහි ආසනයෙහි වැඩසිටියා. අර ඇමතියා කලබලයෙන් ආවා. කිසි වැදගැම්මකට නැති කරුණක් කිව්වා. ඔය ආකාරයට රජතුමා ඇතා පිට සිටිද්දීත්, රාජ අශ්වයා පිට සිටිද්දීත් ඇමතිවරු ඇවිත් නොයෙක් දේවල් කණට කොඳුරනවා.
දවසක් රජතුමා දෝලාවක නැගී උයනට යමින් සිටියා. අතරමගදී ඇමතියෙක් හමුවුණා. දෝලාව නැවැත්තුවා. පණිවිඩයක් යැව්වා.
රජතුමනි, ඉතා වැදගත් කරුණක් කතා කරන්නට තියෙනවා. මෙය කතා කළ යුත්තේ හුදෙකලාවේමයි. ඔබවහන්සේ දෝලාවෙන් බිමට සැපත් වී අසවල් ගස ළඟට වඩින සේක්වා.
රජතුමා දෝලාවෙන් බැස්සා. ගස ළඟට ගියා. ඇමතියත් ආවා. දෙදෙනාම හුදෙකලා වුණා. ඇමතියා ඉතා හෙමිහිට රහසේ රජතුමාට කිව්වේ කිසි වැදගැම්මකට නැති දෙයක්.
දිනක් රජතුමා රාජ හස්තියා පිට නැගී ජනපද චාරිකාවේ යනවා. ඇමතියෙක් රජතුමාට පෞද්ගලිකව කතා කළ යුතු යැයි දන්වා සිටියා. රජතුමා ඇතු පිටින් බැස්සා. ඇමතියා ළඟට ගියා. ඇමතියා අත්වල ඇඟිලි පටලවාගෙන ශබ්ද ඇසෙනා ලෙස ඇඟිලි කඩමින් මහා ගරු ගාම්භීර ස්වරයෙන් කිසි වැදගැම්මකට නැති දෙයක් කිව්වා.
අන්තිමේදී රජතුමාට ඇමතිවරු දකින කොටත් වමනෙට ආවා. රාජකෘත්‍යය පිළිකුල් වුණා. හැමදෙයක්ම එපා වුණා.
මොන වදයක්ද මේ…? මේ ඇමතිවරු හදන්නේ එක එක්කෙනා මට ළං වෙන්නයි. මුන්දැලාගේ අදහස හරි ආත්මාර්ථකාමියි. මට ළං වෙන්නේ මට ඇති ආදරයකට නොවෙයි. මගෙන් අයුතු ප‍්‍රයෝජනයක් ගන්නයි. කුමක් හෝ ලාභයක් ලබා ගන්නයි. මගේ ළඟට ළං වෙලා කණට කොඳුරන්නේ මුන්දැලාට ඇති අසනීපය කුමක්ද? එක එක්කෙනා පෙන්නන්නට හදන්නේ තමා තමයි රජතුමාට වඩාත් සමීප කියා ඉස්මතු කරන්නයි. හනේ හපොයි! මේ රජකමක් නිසා මං විඳින දුකක්!
රජතුමා ටිකෙන් ටික හුදෙකලා වුණා. භාවනාවට පෙළඹුණා. ඇමතිවරු හිතු මනාපෙට රාජකෘත්‍යය කරගෙන ගියා. හොඳට හම්බ කළා. අල්ලස් ගත්තා. වංචා කළා. තමන්ට හිතවත් අයට තනතුරු දුන්නා. අහිතවත් අය තනතුරුවලින් පහ කළා.
දිනක් ඇමතියෙක් රජතුමා ළඟට ආවා.
මහරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ මං ගැන දන්නවානේ. මං මේ රාජ මාළිගයෙහි අවංකව සේවාව කරන ඇමතියෙක්. මෙතෙක් කලක් ඔබවහන්සේට ඇප උපස්ථාන කරපු දේට සම්මානයක් මට ඕනෙමයි. ඒ වෙනුවෙන් මං ඔබවහන්සේගෙන් ඉල්ලා සිටින්නේ අසවල් ජනපදයේ මහඇමතිකම මට භාර දෙන ලෙසයි.
නෑනෑඑහෙම දෙන්න විදිහක් නෑ. ඔහේ කියන විදිහට කොහොමද මහඇමතිකම් දෙන්නේ? මං එය වෙන කෙනෙකුට දීලයි තියෙන්නේ.
ඇමතියා කිපුණා. නිශ්ශබ්දව සිටියා. වචනයක් කිව්වෙ නෑ. කෝපයෙන් හැරිලා ගියා. සේනාව සමඟ ජනපදය ආක‍්‍රමණය කළා. කෝළාහලයක් ලොකුවට ඇතිවුණා. ජනපදය භාරදුන් ඇමතියයි, විරුද්ධවාදීකම් කරන ඇමතියයි ඇවිදින් රජතුමාට පැමිණිලි කළා. එකිනෙකාට දොස් කියාගන්නවා. අපහාස කරගන්නවා. මේ ගාලගෝට්ටිය රජතුමාට මහ වදයක් වුණා.
ඒක හරි වැඩක් නෙව. මෙවුන්ට ඇමතිකමුත් දුන්නා. මෙවුන් එකෙක්වත් සංතෝෂ කරන්න බැහැ නෙව.රජතුමා කළකිරුණා. සඳළුතලයට නැංගා. භාවනා කරන්න පටන් ගත්තා. විසිරෙන සිත සංසිඳී ගියා. චිත්ත සමාධිය ඇතිවුණා. සමථ භාවනාව දියුණු වුණා. සිත වැඞී ගියා. මේ තෘෂ්ණාවට හේතුව විමසන්න පටන් ගත්තා. මේ සියල්ලට හේතුව වින්දනය බවත්, ආස්වාදය නිසාම තෘෂ්ණාව හටගන්නා බවත්, තෘෂ්ණාව නිසාම ඒ අරමුණට සිරවෙන බවත්, ඒ සිර වූ අරමුණෙන් නිදහස් විය නොහැකිව ඒ තුළම චේතනා පහළ කරමින් සිත, කය, වචනයෙන් කර්ම රැස් කරන බවත් වැටහෙන්න පටන් ගත්තා. රජතුමා තවත් ගැඹුරට විමසුවා. ප‍්‍රඥාව වැඞී ගියා. ඇල්ම නිසා හටගන්නා සියළු ආදීනව මැනැවින් වැටහී ගියා. අවබෝධයෙන්ම කළකිරුණා. නොඇල්ම ඇතිවුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.
ඇමතියෙක් දුවගෙන ආවා. පින්වත් මහරජාණන් වහන්ස, තමුන්නාන්සේට විතරක් පැවසිය යුතු ඉතා වැදගත් කරුණක් තියෙනවා. මෙය නම් කියන්න ඕනමයි. ඒ නිසා ස්වල්පයක් මෙතැනට වඩින සේක්වා!
පින්වත් ඇමතිය, මේ රජකම නැමැති අවුලෙන් මං දැන් නිදහස්! මෙය මට අකැප දෙයක්. මෙය කෙරෙහි මගේ සිත දැන් පිහිටන්නේ නෑ. මට මෙයින් පලක් නෑ. මෙයින් නිදහස් වූ සිත උදාරයි. ඇල්ම රහිත වූ සිත මට මහ සතුටක් උපදවා දෙනවා. ඒ විරාගී සතුට තමයි දැන් මට අයිති දෙය.
ඇමතියා කලබල වුණා. රජතුමා වෙනස්. වෙනදා කතා කරන රජතුමාට වඩා කිසියම් මුනිවරයෙකුගේ කතාබහක් රජුගේ වචන තුළින් ඉස්මතු වුණා. ඇමතිවරු රැස්වුණා. රජතුමාට කරුණු පැහැදිලි කළා.
පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ නිසාමයි අපි මේ සැපසේ වාසය කරන්නේ. ඔබවහන්සේ අපට ඉතාමත් ලෙන්ගතුව සිටියා. දැන් ඔබවහන්සේ අපෙන් වෙන් වූ කෙනෙක් වගේ කතා කරන්නේ. අපෙන් වරදක් වුණා වත්ද? අපේ ඒ වරදට කමා කරන සේක්වා! රාජ්‍යානුසාසනාව අපට ලබාදෙන සේක්වා! අපි ඔබවහන්සේට ලබැඳි සෙනෙහසින් රාජකෘත්‍යය කරන්නට කැපවී සිටින්නමෝ වෙමු.
ඇමතිවරුනි, රාජකෘත්‍යය මට අයත් දෙයක් නොවේ. මට අයත්ව තිබෙන්නේ හුදෙකලාවේ ලබන විරාගී සුවයයි. රුක් සෙවණක, ගිරි ගුහාවක, කඳු රැුළියක, ගං තෙර වැලි තලාවෙක හුදෙකලාවේ බවුන් වැඞීමයි මට අයත්ව තිබෙන්නේ.
පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ පවසන දෑ ශ‍්‍රමණයන් වහන්සේලාගේ කෘත්‍යයටයි අයිති. පච්චේකබුද්ධ නමින් ශ‍්‍රමණ කොටසක් ඉන්නවා. උන්වහන්සේලා නම් ඔවැනි බස් පවසනවා. නමුත් ඔබවහන්සේ රජෙක් මිස ඒ වගේ කෙනෙක් නොවේ. ඔබවහන්සේ සුවඳ පැනින් නහා, සුවඳ ගල්වා, කෙස් සාදා, රන් රුවන් අබරණ පැළැඳ, සිනිඳු කසී සළු දරමින් රන් මිරිවැඩි පය ලා සිටින කෙනෙක්. පසේබුදුවරු වනාහී කෙස් රැවුල් බහා, කසා වත් දරා, පාත‍්‍ර අතෙහි දරා හුදෙකලාවේ පිඬු සිඟා වඩින ශ‍්‍රමණයන් වහන්සේලාය. එවැනි දෙයක් අපි ඔබවහන්සේගෙන් නොදකිමු.
එතකොට රාජවේශයෙන් සිටි මෙතුමා හිස අතගෑවා. වස්ත‍්‍ර දෙස බැලූවා. ඒ සැණින්ම කෙස් රැවුල් අතුරුදහන් වුණා. ඉර්ධියෙන් කසාවත් පෙරවුණා. පාත‍්‍රයක් අත රැඳුණා. මිහිරි ස්වරයෙන් මේ ගාථාව ප‍්‍රකාශ කොට පසේබුදුවරුන්ගේ ලොවට වැඩම කළා.
ආමන්තණා හෝතු සහාය මජ්ඣේ
වාසේ ඨානේ ගමනේ චාරිකාය
අනභිජ්ඣිතං සේරිතං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ
මිත‍්‍රාමාත්‍යයන්ට මැදි වී සිටිද්දී කෙළවරක් නැති ආමන්ත‍්‍රණ තියෙනවා. වාසය කරන තැන, ඉන්න තැන, ගමන් යන තැන, චාරිකාවේ යන තැන කියලා නෑ. කණට කොඳුර කොඳුර කියනවා, ඉල්ලනවා. මෙයට මං කැමති නෑ. මං කැමති නිදහසටයි. ඒ නිදහසයි මං සොයමින් හිටියේ. ඇත්තෙන්ම මං දැන් හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.
සාදු! සාදු!! සාදු!!!
අපගේ ශාස්තෘන් වහන්සේ සසර පිළිබඳවත් භව ගමනේ ඇති විවිධ විචිත‍්‍රත්වය පිළිබඳවත් අතැඹුලක් සේ පසක් කොටයි ලොවට පහදා දෙන්නේ. පසේබුදුවරුන් පිළිබඳව මේ අසිරිමත් වෘත්තාන්තයන් අපට දැනගන්නට ලැබුණේත් ඒ නිසාමයි.
පසේබුදුවරුන් පහළ වූ යුගයේදී අද අපි අසන අයුරින් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස දහම් දෙසන්නට ලොව කවුරුවත් සිටියේ නැහැ. එයට හේතුව සම්මා සම්බුදු කෙනෙකුන් පහළ නොවී තිබීමයි. එනිසා ලොව කිසිවෙකුට සම්බුදු කෙනෙකුගේ මුවින් මුල, මැද, අග පිරිසිදු පැහැදිලි අරුත් ඇති, පැහැදිලි වදනින් සපිරි, ඒ අමා නිවන් මග නම් අබුද්ධෝත්පාද කාලයක අසන්නට ලැබෙන්නේ නෑ.
පසේබුදුවරයන් වහන්සේලා අවබෝධය ලබන්නේ සද්ධර්මශ‍්‍රවණයෙන් තොරවයි. අප අයිති වන්නේ ශ‍්‍රාවක ගණයටයි. ශ‍්‍රාවකයන් කරනු ලබන්නේ ශ‍්‍රවණය කොට දැනුම ලබාගැනීමයි. එසේ ලබාගත් ධර්මඥානය ඇසුරෙන් නුවණ මෙහෙයවා සත්පුරුෂ භූමියට පැමිණෙන්ට ශ‍්‍රාවකයන්ට වාසනාව ලැබෙනවා. සත්පුරුෂ භූමියට පත් ශ‍්‍රාවකයන් තුළ පළමුව පිහිටන්නේ කෙළෙහි ගුණයි. කෙළෙහිගුණ දන්නා බව සත්පුරුෂ භූමිය හඳුනාගන්නා සළකුණ වේ. ඒ සඳහා බාහිරින් ලැබෙන සද්ධර්ම ශ‍්‍රවණය පිණිස කල්‍යාණමිත‍්‍ර සේවනය අතිශයින්ම උපකාරී වේ. අභ්‍යන්තරව ඇති යෝනිසෝ මනසිකාරය නම් වූ නුවණින් විමසීම අතිශයින්ම උපකාරී වේ. මෙසේ අභ්‍යන්තර බාහිර හේතු කාරක ධර්මයන්ගේ සමෝධානයෙන් සත්පුරුෂ භූමියට පත් ශ‍්‍රාවකයා පෘථග්ජන භාවයෙන් අත්මිදී ආර්යශ‍්‍රාවකභාවයට පත් වේ.
පසේබුදුවරයන් වහන්සේලාගේ ස්වභාවයට මෙයට වෙනස්ය. උන්වහන්සේලාට සද්ධර්ම ශ‍්‍රවණය නොලැබේ. සමථ භාවනාව දියුණු කරගත යුතු ආකාරය හෝ ස්කන්ධ, ධාතු, ආයතන විමසමින් විදර්ශනා ප‍්‍රඥාව දියුණු කරගත හැකි ආකාරය හෝ සවිස්තරව පෙන්වා දෙන කළණ මිතුරන්ගේ ඇසුර එකලට නැත. මෙහිදී සිදුවන්නේ බාහිර උපකාරයකින් තොරව ස්වකීය ප‍්‍රඥාව දියුණු වීමයි. මේ සඳහා පුණ්‍ය මහිමයෙන් සකස් වූ නුවණින් විමසීමේ හැකියාව නිසැකවම උපකාරී වෙනවා.
ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි ඇතුළත් හත්වෙනි ගාථාවට අදාළ කථා ප‍්‍රවෘත්තිය මෙයයි. එක්තරා අවධියක බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කළා. මොහුට එක පුත් කුමරෙක් සිටියා. ඉතින් මේ රජතුමා ඒ පුත් කුමරාට අසීමිත ආදරයක් දක්වන්නට පටන් ගත්තා. මේ කුමරා නොදැක නොසිටිය හැකි තරමටම දරු ස්නේහය ලියලා තිබුණා. ඒ රජතුමා බොහෝ විට ආහාර ගන්නේ, වාසය කරන්නේ, නිදාගන්නේ, මේ පුත් කුමරා සමඟයි. එනිසාම රජතුමාට ඒකපුත්තික බඹදත් රජුයන නම පටබැඳුණා. එනම් එකම දරුවෙක් සිටින බඹදත් රජා යන්නයි.
දිනක් රජතුමා උද්‍යාන ක‍්‍රීඩාවට ගියා. එදා පුත් කුමරාට මාළිගයේ රැඳී සිටින්නට අවශ්‍ය වුණා. ඒ නිසා පිය රජු සමඟ උයන් කෙළියට ගියේ නෑ. රජතුමා සාංකාවෙන් වගේ උයන් කෙළියට ගියේ. රජතුමාට කිසි සතුටක් තිබුණේ නෑ. ඒ නිසාම පුතු පැමිණියේ නැති සාංකාව මග හැරගන්නට රජතුමා ඇති පදමට මද්‍ය පානය කළා. එනිසාම කුමරුව අමතක වුණා.
ඔය අතරේ මාළිගයේ සෙල්ලම් කරමින් සිටි පුත් කුමරා හදිසියේ අසනීප වුණා. අසාධ්‍ය වුණා. රාජකීය වෛද්‍යවරුන් කැඳවා ප‍්‍රතිකාර කරන්නට උත්සාහ කළත් අසාර්ථක වුණා. මිය ගියා. ඇමතිවරු කලබල වුණා.
හරි වැඬේ! දැන් අපි මොකද කරන්නේ? රජ්ජුරුවන් වහන්සේ මේ විපතට කොයි ආකාරයෙන් මුහුණ දෙයිදැයි කාට නම් කිව හැකිද? රජ්ජුරුවන්ට තමාගේ නෙත් සඟල වන් ප‍්‍රිය පුත‍්‍ර රත්නය මේ අයුරින් මළකඳක් ලෙස දකින්නට ලැබුණහොත් මක් වේවිද? හදවත පැළී යාවිද? සිහි විකල් වේවිද? උමතුවේවිද?”
එතකොට ප‍්‍රධාන පුරෝහිත බ‍්‍රාහ්මණයා මෙහෙම කිව්වා.
ඇමතිවරුනි, අපට කරන්නට තියෙන්නේ එක දෙයයි. අපි රජතුමාට මෙය නොදන්වා සිටිමු. මෙය දැනගත හොත් කුමක් වේවිදැයි කිව නොහැකියි. එනිසා රජතුමාට නොදන්වාම කුමාරයාගේ ආදාහන කටයුතු අවසන් කරමු.
ඉන්පසු පුරෝහිත බ‍්‍රාහ්මණයා ප‍්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස්වුණා. අගබිසව ප‍්‍රධාන කුලාංගනාවන් රැස් වුණා. රජතුමාගේ ජීවිතය බේරා ගැනීම පිණිස කළ යුතු දේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා. කිසිවෙකුටත් මේ ගැන සිතා ගත නොහැකියි. රජතුමා එතරම්ම තම පුත් කුමරාට වසඟව සිටියා. රජතුමාගේ ජීවිතය රැක ගැනීම උදෙසා දරුවාගේ මෘත ශරීරය නොපෙන්විය යුතු යැයි පැවසූ පුරෝහිත බ‍්‍රාහ්මණයාගේ තීරණයට එකඟ වෙන්නට සියල්ලන්ටම සිදුවුණා. එනිසා සියලූ දෙනා හැඬූ කඳුලින් යුතුව පුත් කුමරාගේ අවසන් කටයුතු සිදු කළා.
උද්‍යාන ක‍්‍රීඩාවට ගිය රජතුමා එදා බොහෝ වේලාවක් උයනේම ගත කළා. දිගින් දිගටම මද්‍ය පානය කළා. සවස් වෙද්දී රජතුමා පැමිණ කෙළින්ම සිරියහන් ගබඩාවට ගොස් පුත් කුමරා සිහි නොකොට නින්දට බැස ගත්තා. දෙවෙනි දවසේ සුවඳ පැන් ස්නානය කොට ආහාර අනුභව කරන වේලෙහි පුත් කුමරාව සිහි වුණා.
ඇමතිවරුනි, කෝ…. කුමාරයා? ඊයෙ දවස පුරාම මට කුමාරයාව දකින්නට ලැබුණේ නෑ. වෙනදාට මාළිගය පුරා දුව පැන ඇවිදින හඬ ඇසෙනවා. අද කිසිවක් නොඇසේ. කුමාරයා වෙන තැනක සෙල්ලමෙන් කල් ගෙවනවා වත්ද? කමක් නෑ. ඉක්මනින් කුමාරයාව ගෙන එන්න. මගේ අතින්ම මගේ පුතුට බත් කවන්නට ඕන.
ඇමතිවරු බිම බලාගත්තා. බිසවුන් වහන්සේ තිරයට මුවා වී කඳුළු වැකුණු මුහුණුන් රජතුමා දෙස බලා සිටියා. සියලූ දෙනා නිශ්ශබ්ද වුණා. මොහොතකට මුළු මාළිගාවම ගොළු වී ගිය බවක් දිස්වුණා. ආයෙමත් රජතුමා කතා කළා.
මොකෝ මේ….? ඇයි? කුමාරයා කොහේවත් ගියාද? මොකද නිශ්ශබ්ද?”
සියල්ලන්ටම මෙම ශෝකජනක ප‍්‍රවෘත්තිය හදවතෙහි දරා සිටින්නට බැරිව ගියා. එසැණින්ම සියලූ දෙනා හඬා වැටුණා. බිසවුන් වහන්සේ පැමිණ රජතුමා පාමුල වැටී වැළපෙන්න පටන් ගත්තා.
රජතුමා අන්දමන්ද වුණා. නෙත් විදහාගෙන වටපිට බැලූවා. තැති ගත්තා. කිසිවක් තේරුණේ නෑ.
ඇයි මේ? ඇයි මේ වැළපෙන්නේ? මොකද වුණේ? ඔව්කියන්න. මොකද වුණේ?”
දේවයන් වහන්ස, අපේ රත්තරන් පුත් කුමරා ඊයේ අභාවයට පත් වුණා. අපට උහුලගන්න බෑ. සිත් වේදනයි. ඔබවහන්සේ අපේ පුත් කුමරාට දැක්වූ අසීමිත ආදරය නිසා එකවරම මේ කාරණය අපි කිව්වෙ නෑ. පුත් කුමරා මිය ගියා. ඊයේම ආදාහන කටයුතු කළා. අනේ දෙවියනේ…. මෙවැනි දෙයක් අපි කොහොමද ඉවසන්නේ? ඔබවහන්සේට මෙය උසුලන්නට නොහැකි වුවහොත් කරදරයකට පත්වේවි යන අදහසිනුයි මෙතෙක් වේලා නොකියා සිටියේ. ඔබවහන්සේට ඇති ආදරය නිසාමයි අපි නොකියා සිටියේ.
රජතුමා දෑස පියා ගත්තා. හිත හදාගන්නට මහන්සි ගත්තා. හදවත පැළී යන තරම් දරුණු වූ දරු ශෝකයක් ඉස්මතු වෙවී ආවා. සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු රිදුම්කන වේදනාවක් පැනනැංගා. රජතුමා දැඩි ආයාසයකින් එය මැඬ ගත්තා. රජතුමා ශෝකය මඬින්නට වෙර වඩද්දී ඇඟ මවිල් කෙලින් වී යන අයුරු හැමෝම බලා සිටියා. රජතුමා ඇස් ඇරියේ නෑ. බොහෝ වේලාවක් ඒ ඉරියව්වේම සිටියා.
ජීවිතය යනු ඇති වී නැති වී යන දෙයක් බව තේරුම් ගන්නට රජතුමා මහන්සි ගත්තා. ක‍්‍රමක‍්‍රමයෙන් වේදනාව තුනී වී ගියා. ශෝකය අඩු වී ගියා. කායික මානසික අපහසුතා සංසිඳී ගියා. සිත එකඟ වී ගියා. රජතුමාට හිතෙන්නට පටන් ගත්තා, “ඔව්. මරණයට පත්වීම උපන් මොහොතේ සිටම තියෙන එකක්. මෙය ධර්මතාවයක්. උපන් සත්වයාට මෙයින් මිදෙන්නට පිළිවෙලක් නෑ. ඉපදීම ඇති කල්හි ජරා මරණ තියෙනවාමයි. උපදින්නේ මක් නිසාද? උපන් සත්වයා තුළ පැහැදිලි විවිධත්වයක් තියෙනවා. මේ සත්වයා ඉපිද සිටින්නේ ඒකාකාරී ලෙස නොවෙයි. මෙයට හේතුව තම තමා තුළ සකස් වූ කර්ම විපාකයන්ගේ වෙනස්කම බව පැහැදිලියි. භවය ඇති කල්හි ඉපදීම සිදුවේ. භවය හටගන්නේ මක් නිසාද? කෙනෙක් තුළ උපතක් පිණිස කර්ම සකස් වන්නේ යමකට සිරවී සිටි විටයි. උපාදානය ඇති විටයි. එසේ නම් උපාදානය ඇති කල්හි භවය ඇත. මේ අයුරින් මෙය ඇති කල්හි මෙය ඇතයන ධර්මතාවයත්, ‘මෙය උපදින විට මෙය උපදීයන ධර්මතාවයත් වැටහෙන ආර්ය න්‍යාය රජතුමාට අවබෝධ වෙන්න පටන් ගත්තා.
එමෙන්ම හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගන්නා යම් දෙයක් ඇද්ද, ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ පල ද නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත බව රජතුමාට අවබෝධ වුණා. මෙය නැති කල්හි මෙය නැතයන ධර්මතාවයත්, ‘මෙය නිරුද්ධ වන කල්හි මෙය නිරුද්ධ වේයන ධර්මතාවයත් රජතුමාට අවබෝධ වුණා.
රජතුමා තුළ සමාධියත්, ප‍්‍රඥාවත් මැනැවින් වැඞී ගියා. ලොවෙහි පැවැත්ම තුළ තිබෙන්නේ ආස්වාදයට මුලා වී සිටීම නිසා, ආදීනව වැළඳගෙන සිටීම බව මැනැවින් පසක් වී ගියා. ආස්වාදයෙනුත් ආදීනවයෙනුත් නිදහස් වීම පිණිස අවබෝධයෙන්ම ඒවා අත්හළ යුතු බවත් රජතුමාට පසක් වුණා. අවබෝධයෙන්ම කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.
රජතුමා තුළ ඇති වූ මේ වෙනස එක්වරම හඳුනාගන්නට කිසිවෙකුටත් බැරිවුණා. හැබැයි, රජතුමා ශෝකය සංසිඳුවා ගත් බව හැමෝටම පැහැදිලි වුණා. සියලූ දෙනා පුදුම වුණා. අසීමිත දරු සෙනෙහසකින් වෙළී සිටි රජතුමා අතිශයින්ම දක්ෂ අයුරින් ශෝක හුල ඉවත් කරගත් අයුරු දකින විට පුදුම නොවී සිටින්නේ කොහොමද? ඉතාමත් ශාන්ත ඉරියව්වකට පත්වුණා. මුහුණේ තිබූ ශෝකාකූල බව නැත්තටම නැතිවුණා. සංසුන් වුණා. තැන්පත් වුණා.
බිසවුන් වහන්සේ ආදරයෙන් රජතුමාව ඇමතුවා.
අපගේ පින්වත් මහරජ්ජුරුවන් වහන්ස, ජීවිතය ඔහොම තමයි. අපි කොතරම් ආදරය කළත් වෙනස් වී යන දෙය, වෙනස් වී යනවා මයි. මේ බරණැස් නගරයේ කොතරම් පොඩි දරුවන් මිය යනවාද? අපේ පුතුටත් සිදුවූයේ ඒ දේම නොවේද? එනිසා රජතුමනි, ඒ ගැන මුසුප්පු නොවී වැඩවසන සේක්වා! ඔබවහන්සේගේ සිත් වේදනා සංසිඳවීම පිණිස අපි සියලූ දෙනාම හැම කැපවීමක්ම කරන්නෙමු.
පින්වත් නැගණිය, වෙනස් වන සියල්ල වෙනස් වී යාම ධර්මතාවයක්. ඒ ලෝක ස්වභාවයක්. ලෝක ස්වභාවයට අයත් දේ ආශාවෙන් පිළිඅරගෙන දුක් විඳින්නේ අපමයි. මට වැටහුණා. හොඳින්ම වැටහුණා. මේ ලෝක ස්වභාවයෙන් මං දැන් නිදහස්.
බිසවුන් වහන්සේ බියට පත්වුණා. නෙත් විදහාගත්තා. කඳුළු පුරවා ගත්තා. මුව අයා ගත්තා. වටපිට බැලූවා. ඇය තුළ ඒ වෙනස ඇතිවුණේ මක්නිසාද යන්න තේරුම් ගැනීමට ඇමතිවරුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ. ඇමතිවරු ඉදිරිපත් වුණා.
පින්වත් රජ්ජුරුවන් වහන්ස, මේ ඉන්නේ නැගණියක් නොවෙයි. ඔබවහන්සේගේ බිසවුන් වහන්සේය. පින්වත් රජ්ජුරුවන් වහන්ස, සිහිය උපදවා ගන්නා සේක්වා!
පින්වත, මා තවදුරටත් රජෙක් නොවෙයි. මට මේ සියල්ල අකැපයි. මගේ ලෝකයට මේ කිසිවක් අයිති නැහැ. මගේ ලෝකයට අයත් එක දෙයක් තියෙනවා. එනම් මේ සියල්ලෙන් අත්මිදී ගිය බවයි. නිදහස් වී ගිය බවයි. විමුක්තියට පත් වූ බවයි. දුක ශෝකය, වේදනාව, වැළපීම, බිය, තැතිගැනීම, කම්පාව, කඳුළු සැළීම යන සියල්ලෙන් මං දැන් නිදහස්. ඒවා මට අයිති නෑ. ආදරය, සෙනෙහස, ළබැඳියාව ආදී කිසිවක් මට අයිති නෑ. ඇලෙන, ගැටෙන කිසිවක් මා සිතේ නොරැඳේ.
දේවයන් වහන්ස, ඔබවහන්සේ කතා කරන්නේ මුනිවරයෙකුගේ දෙයක් මිස රජෙකුගේ දෙයක් නොවෙයි. ඊයේ උද්‍යාන ක‍්‍රීඩාවට ගොස් ඔබවහන්සේ ඇතිපදම් මධුවිත පානය කළා. සිහි නුවණින් තොරව සිටියා. අද දරු ශෝකයෙන් ඔබවහන්සේගේ හදවත දෙදරා ගියා. ඒ මොහොතේම ඔබවහන්සේ මුනිවරයෙකුගේ බස් තෙපළන්නේ කෙසේදැයි අපි නොදනිමු.
පින්වත, ඇත්ත! ඒ සියල්ලම ඇත්ත. ඊයේ සිදු වූ දෙය අතීතයට ගියා. අද සිදු වූ දෙයත් අතීතයට ගියා. නමුත් මුනිවරයෙකුගේ බස් තෙපළන මා තුළ යම් වෙනසක් ඇද්ද, එය මට තවමත් දැනෙනවා. එය විස්තර කරන්නට මම නොදනිමි. නමුත් එක් දෙයක් දනිමි. මා තුළ කිසි කලබලයක් නැහැ. නොවැටහීමක් නැහැ. සිහි මුලාවීමක් නැහැ. මෝහයක් නැහැ. වෙනස් වන ලෝකය හොඳින් හඳුනාගෙනයි මා ඉන්නේ. මා කම්පා නොවී සිටින්නේ සිහි මුලාව නොව, සිහි නුවණ වැඞීම නිසාමය.
දේවයන් වහන්ස, සිහි නුවණ වැඞී ගොස් විමුක්තිය කරා යන්නේ ශ‍්‍රමණයන් වහන්සේලායි. පච්චේකබුද්ධ නමින් උන්වහන්සේලා ප‍්‍රසිද්ධයි. උන්වහන්සේලා කෙස් රැවුල් බහා, කසාවත් දරා, පාත‍්‍රා අතැතිවයි සිටින්නේ. දේවයන් වහන්ස, ඔබවහන්සේ එයට වෙනස් බව දන්නා සේක්වා!
එවිට රාජ වේශයේ සිටි පසේබුදුරජාණන් වහන්සේ අතින් හිස පිරිමැද්දා. සළු පිළි දෙස බැලූවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන් වුණා. රාජකීය වස්ත‍්‍ර අතුරුදහන් වුණා. කසාවත් පෙරැවුණා. පාත‍්‍රයක් අත රැඳුණා. උන්වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.
ඛිඞ්ඩා රතී හෝති සහාය මජ්ඣේ
පුත්තේසු ච විපුලං හෝති පේමං
පියවිප්පයෝගඤ්ච ජිගුච්ඡමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ
යහළු මිත‍්‍රයන් අතර සිටිද්දී කෙළි සෙල්ලම්වලටයි සිත ඇදී යන්නේ. කාම සැපයටමයි සිත ඇදී යන්නේ. දරුවන්ට මැදි වී සිටිද්දී දාරක පේ‍්‍රමයමයි බලවත් වී යන්නේ. ඒ හේතුවෙන් තමන්ට පි‍්‍රය වන දේ අහිමි වී ගිය විට සෝක හුලෙන් පහර කන්නට වෙනවා. මං එයට කැමති නැහැ. මට එය පිළිකුල්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.
සාදු! සාදු!! සාදු!!!

අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේලා පිළිබඳව කරනු ලබන අතිශයින්ම දුර්ලභ චරිතාපදානයන් ගැන සිත පහදවාගැනීමෙන් පවා අපට පින් රැස් කරගන්නට පුළුවනි. බුදුවරයන් වහන්සේලා ගැන, පසේබුදුවරයන් වහන්සේලා ගැන, රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්නට හැකි ආකාරයට නුවණ මෙහෙය වීමට අප දක්ෂ විය යුතුය. එය සැබැවින්ම අපගේ සසර ගමනට මහෝපකාරී වනු ඇත.
මෙම කථාවේ සඳහන් වන්නේ ද පසේබුදුවරයන් වහන්සේ නමකගේ විස්තරයයි. ඛග්ගවිසාණ ගාථා දේශනාවට අයත් අටවන ගාථාවෙහි සඳහන් වෙන පසේබුදුවරයන් වහන්සේගේ ප‍්‍රවෘත්තියයි අප දැන් දැනගන්නේ.
මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වූයේ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහසක්ව තිබුණා. බොහෝ පිනැතියන් කසුප් බුදු සසුනෙහි පැවිදිව සරණ සිල්හි පිහිටා පින් රැස් කරගත්තා. එක්තරා යහළුවන් පස් දෙනෙක් ද කසුප් බුදු සසුනෙහි පැවිදි වුණා. ඉතාමත් ආදර ගෞරවයෙන් යුතුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ශ‍්‍රී සද්ධර්මයත් සරණ ගියා. ශ‍්‍රාවක සඟරුවනත් සරණ ගියා. සීල සම්පත්තියෙහි පිහිටියා. පිළිවෙත් පිරුවා. නමුත් මේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිවන් අවබෝධ කරන්නේ පච්චේකබෝධියෙන් බව උන්වහන්සේලා දැනසිටියේ නැහැ. ප‍්‍රාර්ථනාවන්ට සීමා කොට වාසය කළේ නෑ. අද අදම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතුයි යන අවංක අදහසින් මහණ දම් පිරුවා. ගතපච්චාගත වතත් පිරුවා.
නමුත් උන්වහන්සේලාට ඒ ජීවිතයේදී මාර්ගඵලාවබෝධයක් ඇති කරගන්නට බැරිවුණා. විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී පවා මාර්ගඵලාවබෝධයක් නොලැබී යාම පිළිබඳව උන්වහන්සේලා පසුතැවුණේ නෑ. ඉතාමත් සතුටින් සරණ සිල් ආරක්ෂා කළා. ධර්මයේ හැසිරුණා. ධර්මාවබෝධ කිරීමේ අදහස වෙනස් කරගත්තේ නෑ. එනිසාම උන්වහන්සේලා තුළ සසරේ රැස් කරගෙන ආ පුණ්‍ය ධර්මයන් බලවත්ව මෝරා ගියා. එසේ බලවත් වූ පුණ්‍යානුභාවයෙන් යුතුව දෙව්ලොව උපන්නා.
වසර දහස් ගණනක් දිව්‍ය සැප විඳිමින් දෙව්ලොව වාසය කළා. අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජුන්ගේ ශාසනය පහළ වෙන්නට පෙර පසේබුදුවරුන්ගේ යුගයක් ඇතිවුණා. ඒ යුගයේදී අර දෙව්ලොව උපන් දිව්‍ය පුත‍්‍රයන් පස්දෙනා දෙව්ලොවින් චුත වුණා. ජ්‍යෙෂ්ඨ දිව්‍යපුත‍්‍රයා බරණැස් රජපවුලේ උපන්නා. අනෙක් දිව්‍යපුත‍්‍රවරුන් ප‍්‍රාදේශීය රජපවුල්වල උපන්නා.
සසරේ රැස් කළ පිනට අනුව ප‍්‍රාදේශීය රජ පවුල්වල උපන් රාජකුමාරවරුන් යහළුවන් බවට පත්වුණා. මේ යහළු රජවරුන් හතර දෙනා කැමති වූයේ රාජ්‍ය උත්සව, ප‍්‍රිය සම්භාෂණ, මධුපානෝත්සව ආදී කාමරතියෙහි ඇලීම නොව, හුදෙකලා පරිසරයට ආසා කිරීමයි. මොවුන් සිත්කලූ උද්‍යාන බලන්න යනවා. වනාන්තර බලන්න යනවා. ගල්තලාවල වාඩි වී ඉන්නවා. මොවුන් තුළ ක‍්‍රමක‍්‍රමයෙන් රාජ සැපයෙහි ඇල්ම අඩුවුණා. බණභාවනාවට යොමු වුණා. දැන් මේ හතර දෙනාම වරින් වර එකතු වෙන්නේ භාවනා කිරීමටයි. තම තමන්ගේ මාළිගාවන්හි උඩුමහලට යන මේ රජවරු දිගටම භාවනා කරන්න පටන් ගත්තා. පුණ්‍ය මහිමය නිසා කිසි අපහසුවකින් තොරව චිත්ත සමාධිය වැඩුණා. ප‍්‍රඥාවත් වැඩුණා. සමථ විදර්ශනා භාවනාවන් මුහුකුරා ගියා. හතර දෙනා වෙන වෙනම හුදෙකලාවේම චතුරාර්ය සත්‍යය අවබෝධ කළා. නිකෙලෙස් බවට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේලා බවට පත්වුණා.
මේ පසේබුදුවරයන් වහන්සේලා සිව්නම හිමාලයෙහි නන්දමූලක පර්වතයට වැඩියා. එහි ගුහාවල සමවත් සුවයෙන් කල් ගෙව්වා. දිනක් මුන්වහන්සේලා තම තමන් පැමිණි සසර ගමනේදී කරන ලද පින් මෙනෙහි කළා. එසේ අතීත භවයන් මෙනෙහි කරන විට කසුප් බුදු සසුනෙහි මිතුරන් පස් දෙනෙක්ව එකට මහණදම් පිරූ අයුරු දැනගන්නට පුළුවන් වුණා. දැන් හතර දෙනෙක් එක් වී සිටිනවා. පස්වැනියා ඉන්නේ කොහේදැයි විමසා බැලූවා. ඔහු තමා සියල්ලන්ගෙන්ම ජ්‍යෙෂ්ඨයාව සිටියේ. දැන් ඔහු බරණැස් නුවර රජ බවට පත් වී දැහැමින් රජ කරනවා.
බරණැස් නුවර රජතුමාට මෑතක සිට බලවත් ප‍්‍රශ්නයක් ඇති වුණා. එනම් රාත‍්‍රී මධ්‍යම යාමයේ තුන්වරක්ම බියට පත් වී අවදි වීමයි. එවිට මේ රජතුමා නින්දෙන් කෑ ගසනවා. ඇතැම් විට උඩුමහලට දුවගෙන යනවා. රජතුමා මේ හේතුවෙන් බලවත් පීඩාවක් වින්දා. හිතට කිසි සතුටක් තිබුණේ නෑ. නමුත් කාටවත් කියන්න විදිහකුත් නෑ. හිතේ තෙරපා ගෙන හිටියා. සුවදායක නින්දක් නොමැති නිසා රජතුමාගේ මුහුණේ වෙනසක් ඇතිවුණා. මෙය පුරෝහිත බ‍්‍රාහ්මණයා දැක්කා.
පින්වත් රජ්ජුරුවන් වහන්ස, දැන් දින කිහිපයක් තිස්සේ මං ඔබවහන්සේගේ මුව මඬලෙහි ඉරියව් පිරික්සා බැලූවා. එයට හේතු වුණේ වෙනදා තිබුණු ප‍්‍රීතිමත් සැපදායක සෝභාසම්පන්න බව නැති වී ඇති බව මට පෙනී ගිය නිසා. ඔබවහන්සේගේ මුව මඬලෙහි කිසියම් වෙහෙසකර බවක් පෙන්නුම් කරනවා.
පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේට කිසියම් චිත්ත පීඩාවක් තිබෙනවාද? වේදනාකාරී කරුණක් තිබෙනවාද? ඔබවහන්සේ සුවසේ සැතපෙන සේක්ද?”
ආචාර්යපාදයෙනි, මා මෙතෙක් සඟවා ගෙන සිටි කරුණක් ඔබ සොයා ගත්තා. ඔබගේ ප‍්‍රකාශයෙහි කිසියම් සත්‍යයක් තිබේ. මා හට දැන් කලක් තිස්සේ සුව නින්දක් නෑ. රාත‍්‍රී මධ්‍යම යාමයෙහි කිසියම් අද්භූත බියජනක දෙයකින් තුන් වතාවක් අවදි වෙනවා. ඇතැම් විට මට කෑ ගැසෙනවා. ඇතැම් අවස්ථාවන්හීදී මා උඩුමහලට දුව යනවා. මෙය කිසියම් රෝගයක් දැයි මට නොවැටහේ.
එතකොට පුරෝහිත බ‍්‍රාහ්මණයා නළල රැළි නංවා ගත්තා. තඹවන් රැවුල අතින් පිරිමදින්නට පටන් ගත්තා. උගුරේ රැල් බුරුල් හරින්නට පටන් ගත්තා.
රජ්ජුරුවන් වහන්ස, මේ ගැන කල්පනා නොකරන සේක්වා! මා අපගේ වේද ශාස්ත‍්‍රය අනුව සිදු වී ඇති කාරණාව වහා සොයා ගන්නම්. ඇතැම් විට බලවත් ග‍්‍රහ කෝපයක් වෙන්නට පුළුවනි. ඒරාෂ්ටකයක් වෙන්නට පුළුවනි. සමහර විට බලවත් ග‍්‍රහ මාරුවක් නිසා ඇති වූ දරුණු දෙයක් වෙන්නටත් පුළුවනි. කෙසේවෙතත් මේ සියල්ලේ සත්‍ය ස්වභාවයත්, මෙයට කළ යුතු නොවරදින ප‍්‍රතිකාරත් ඔබවහන්සේට මා හෙට දවස තුළම දැනුම් දෙන්නම්.
පුරෝහිත බ‍්‍රාහ්මණයාට කිසි කරුණක් සොයා ගන්නට නොහැකි වුණා. ඔහු සිතුවේ බොහෝ වියදම් කොට සතුන් මරා මහා යාගයක් කළ විට රජතුමාගේ ප‍්‍රශ්නය විසඳෙන බවයි. ඔහු පසුවදාම රාජ මාළිගයට ගොස් රජතුමාට සැළ කළා.
පින්වත් රජ්ජුරුවන් වහන්ස, මා ඊයේ කළ ප‍්‍රකාශය අනුව කරුණු සොයා බැලූවා. ඔබවහන්සේගේ ජීවිතයට බලවත් අන්තරායක් තියෙනවා. ඔබවහන්සේගේ රාජ්‍යයට බලවත් අන්තරායක් තියෙනවා. මෙය විසඳීම පිණිස සුභ නැකතක් බලා යාගයක් කළ යුතුයි.
ආචාර්යපාදයන් වහන්ස, ඉතා මැනැවි. ඉතා මැනැවි. කෙසේ හෝ මා මේ ප‍්‍රශ්නයෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා ඔබ කරන ඕනෑම යාගයකට මා සූදානම්.
එසේ නම් රජ්ජුරුවන් වහන්ස, මෙතෙක් ගණනක් ඇතුන් මට ලැබේවා. අසුන් මට ලැබේවා. ගවයින් මට ලැබේවා. එළුවන්, බැටළුවන්, ඌරන්, කුකුලන් මට ලැබේවා. මෙතෙක් පමණට රන්, රිදී, මාණික්‍යය මට ලැබේවා. මා ඔබවහන්සේට සදාකාලික රැකවරණය ඇති උදාර වූ යාගයක් කොට සෙත් පතන්නම්.
දැන් යාගය පිණිස සියලූ කටයුතු ලහි ලහියේ සූදානම් වෙනවා. අතිවිශේෂ වූ සුභ මුහුර්තියකින් රාජාංගනයෙහි යාග කණුව සිටෙව්වා. සිය ගණන් සතුන් යාගය පිණිස එක් රැස් කරන්න පටන් ගත්තා. රාජාංගනය පුරා සතුන්ගේ හඬින් ඒක නින්නාද වී ගියා. බවුන් වඩමින් සිටි පසේබුදුවරයන් වහන්සේලා තමා සමඟ පිළිවෙත් පිරූ තම වැඩිමහළු ශ‍්‍රමණයන් වහන්සේ දැන් රජෙක් වී කරගන්නට යන විපත දුටුවා.
අහෝ! අපගේ සහෝදර වූ බරණැස් රජතුමා සත්ව ඝාතනය කොට මහා යාගයකට සූදානම් වෙනවා. මේ අනතුර සිදුවුවහොත් මොහුටත් විමුක්ති සාධනය පිණිස ඇති වාසනාවට බාධා වෙන්නට පුළුවනි. එයට පෙර ඔහු රැක ගත යුතුයි.
එදා රජතුමා සීමැදුරු කවුළුවෙන් යාගය පිණිස කටයුතු සූදානම් වන අයුරු බලමින් සිටියා. එවේලෙහි රාජාංගනයෙහි ශාන්ත ඉරියව්වෙන් යුතුව පාත‍්‍රා අතැතිව පිඬු සිඟා වඩින ශ‍්‍රමණයන් වහන්සේලා සිව් නමක් දකින්නට ලැබුණා. උන්වහන්සේලා දුටු සැණින්ම රජුගේ සිතෙහි මහත් ස්නේහයක් හටගත්තා. ගෞරවාදරයක් හටගත්තා. විශ්වාසයක් හටගත්තා. රජතුමා උන්වහන්සේලාව මාළිගයට වඩම්මවා ගත්තා. ආසනවල වඩා හිඳුවා දානය පූජා කරගත්තා.
පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔබවහන්සේලාගේ ඉරියව් ඉතාමත් ශාන්තයි. ඔබවහන්සේලාගේ ඇවතුම් පැවැතුම් ප‍්‍රියජනකයි. ඔබවහන්සේලාගේ සිතෙහි ඇති පිවිතුරු බව බාහිරටත් දැනෙනවා. පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, මං කැමතියි ඔබවහන්සේලාගේ නම් දැනගන්න.
ප‍්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, අපි හතර දෙනාව සිව්දිසානමින් හැඳින්නුවාට කමක් නැහැ.
සිව්දිසා….? ඇත්තෙන්ම ශ‍්‍රමණයන් වහන්ස, එහි තේරුම කුමක්ද?”
ප‍්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, උතුර, නැගෙනහිර, දකුණ, බටහිර යන මේ සිව් දිශාව තුළ අපට භයක් හෝ තැතිගැනීමක් හෝ ඇතිවෙන කිසි කරුණක් නොපෙනෙන නිසයි සිව්දිශාව නමින් අපව හඳුන්වන්නේ.
පින්වත් ශ‍්‍රමණයන් වහන්සේ සිව්දිශාව තුළ බිය තැතිගැනීම් ඇති නොවන්න හේතුව කුමක්ද?”
ප‍්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, අපි මෛත‍්‍රී භාවනාව කරනවා. කරුණා භාවනාවත් කරනවා. අනුන්ගේ සැපයෙහි සතුටු වීම නම් මුදිතා භාවනාවත් කරනවා. ලෝක සත්වයා තම තමන්ගේ කර්මානුරූපව උපත ලැබූ බව සිහි කොට උපේක්ෂා භාවනාවත් කරනවා. මේ නිසයි අපට කිසි දිශාවකින් භයක් හට නොගන්නේ.
මෙසේ පැවසූ පසේබුදුවරයන් වහන්සේලා සිව්නම ආපසු වැඩියා. රජතුමාගේ සිතේ මේ මෙත් සිත පැතිරවීම ගැන ඇසූ කරුණු දෝංකාර දුන්නා. රැව් පිළිරැව් දුන්නා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.
ඇත්ත. මේ ශ‍්‍රමණයන් වහන්සේලා පැවසූ කරුණේ ඉතාමත්ම සාධාරණ පදනමක් තියෙනවා. අප තුළ මෛත‍්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා යන භාව ගුණයන් වැඞී තියෙනවා නම් කිසි කෙනෙකුට භයක් හටගන්නේ නැහැ නෙව. දැන් මේ සතුන් මරණ බියෙන් තැති ගෙන හඬ නගනවා. වැළපෙනවා. බොහෝ දෙනෙක් දඬුවමට බියෙන් කඳුළු වැකුණු මුහුණින් යුතුවයි යාගය උදෙසා සේවය කරන්නේ. හැමෝගෙම සිත් තුළ තියෙන්නේ භයක්. තැති ගැනීමක්. මගේ ප‍්‍රශ්නයට විසඳුමක් හැටියට පුරෝහිත බ‍්‍රාහ්මණතුමා පැවසුවේ සතුන් මරා බිලි පූජා කොට යාගයක් කළ යුතු බවයි. මේ බිලි පූජාව නම් මෛත‍්‍රියෙන් යුක්තව කළ හැකි දෙයක් නොවෙයි.
බලාගෙන ගියාම සත්‍යය ප‍්‍රකාශ වුණේ අර ශ‍්‍රමණයන් වහන්සේලාගෙන් විතරයි. පිරිසිදු බවක් සෙවිය යුත්තේ පිරිසිදු බවක් තුළින්මයි. වේදයේ උගන්වන පිළිවෙලට නම් පිරිසිදු බව සොයාගත යුත්තේ අපිරිසිදු බව තුළිනුයි. නමුත් අපිරිසිදු බවකින් පිරිසිදු බවක් ලැබෙන්න කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මමත් මෙත් සිත වඩන්න ඕන. වෛර, තරහ, පළිගැනීම ආදියෙන් ඉවත් වෙන්න ඕන. අනුන්ගේ දුක දැක උණුවෙන හදවතක් ඇති කරගන්න ඕන. හැම දෙනාගේම සැපය ඔවුන් ළඟ නිරතුරුව පවතීවා කියන මුදිතාව ඇති කරගන්න ඕන. මධ්‍යස්ථ භාවය ඇති කරගන්න ඕන.
ඉතින් රජතුමා බ‍්‍රහ්මවිහාර භාවනාවන් වඩන්න පටන් ගත්තා. ටිකෙන් ටික රජතුමාගේ සිත තුළ අර සතුන් කෙරෙහි මහත් දයානුකම්පාවක් ඇතිවුණා. සෙනෙහසක් ඇතිවුණා. පුරෝහිත බ‍්‍රාහ්මණයා කෙරෙහිත් අනුකම්පාවක් ඇතිවුණා. ඔහු කළේ වේදයේ සඳහන් අන්ධ විශ්වාසයෙන් ප‍්‍රකාශ කිරීම පමණයි. ඔහුට පවා මේ ගැන අවබෝධයක් තිබුණේ නෑ. හැමදෙනා කෙරෙහිම රජතුමාගේ සිතේ අනුකම්පාව හටගත්තා. පුරෝහිත බ‍්‍රාහ්මණයා කැඳෙව්වා.
භවත් ආචාර්යපාදයෙනි, සැබෑ යාගය කුමක්දැයි මට දැන් වැටහේ. මා මේ සතුන් කෙරෙහි හොඳින් බලා සිටියා. ඔවුන් බියට පත් වී සිටිනවා. තැතිගැනීමට පත් වී සිටිනවා. මරණ භයෙන් මළ මුත‍්‍රා පහවෙමින් තියෙනවා. වෙව්ලා සිටිනවා. යාගයට උදව් වෙන කිසිවෙක් තුළ ප‍්‍රීති චිත්තයක් දකින්නට නොලැබේ. එනිසා ආචාර්යපාදයෙනි, මා අලූත්ම යාගයක් සොයා ගත්තා. ඒ යාගය ඔබටත්, මටත්, අපි හැමෝටමත් බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා.
එනිසා භවත් ආචාර්යපාදයෙනි, යාගය වෙනුවෙන් ඔබට ගෙවිය යුතු යම් මුදලක් ඇද්ද, මා ඒ මුදල ගෙවීම පිණිස අණ කළා. මං අලූත්ම යාගයක් කරනවා. මේ සියලූ සතුන් මං නිදහස් කොට යවනවා. මේ සියලූ සත්වයෝ සුවසේ නිල් තණ බුදිත්වා! සිහිල් පැන් පානය කොට පවස නිවා ගනිත්වා! මේ සතුන්ගේ සිරුරු කරා සිහිලැල් පවන් වැදගනිත්වා!
රජතුමාගේ මේ තීරණය නිසා සියලූ දෙනාම සතුටට පත් වුණා. දෙවියනුත් සතුටට පත් වුණා. රජතුමා උඩුමහල් තලයේ සිට භාවනාව දියුණු කළා. ටිකෙන් ටික සමාධිය බලවත් වුණා. ධ්‍යාන උපදවා ගත්තා. අර සතුන් විඳි පීඩාව මතක් වෙද්දී රජතුමා නුවණින් කල්පනා කළා. මේ සියලූ දෙයට හේතුව ඉපදීමයි. ඉපදීම නිසාමයි මෙම ඇස, කණ, නාසය, දිව, කය, මනස ලැබුණේ. මේවා නිසාමයි ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් හටගන්නේ. මෙවැනි උපතක් ලැබුවේ මක් නිසාද? මේ අයුරින් නුවණින් විමසමින් යද්දී රජතුමාට පටිච්චසමුප්පාදය වැටහෙන්න පටන් ගත්තා. එය හටගන්නා ආකාරයත්, නිරුද්ධ වී යන ආකාරයත් වැටහෙන්න පටන් ගත්තා. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්න පටන් ගත්තා. රජතුමාට හේතුඵල දහමින් හටගත් සියල්ලේ ඇති අසාරත්වය වැටහුණා. එහි නොඇල්ම ඇතිවුණා. ඒ සියල්ලෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුද්ධත්වයට පත්වුණා.
දහවල් භෝජන වෙලාව පැමිණුණා. රාජභෝජන පිළියෙල කළ ඇමතිවරු විසින් රජතුමාට ඒ බව දැනුම් දුන්නා.
මහරජ්ජුරුවන් වහන්ස, දැන් බොජුන් වළඳන වෙලාවයි.
පින්වත්නි, මම රජකෙනෙක් නෙවෙමි. රජෙක් තුළ තිබිය යුතු කිසිදු කල්පනාවක් දැන් මා තුළ නැහැ. මට මේ සියලූ සතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් තියෙනවා. රාජකීය ජීවිතය හා බැඳුණු සියල්ලෙන්ම මා දැන් නිදහස් වෙලයි ඉන්නේ. මා ලැබූ අත්දැකීම් ගැන ඔබට විස්තර වශයෙන් පවසන්නට මට තේරෙන්නේ නැහැ. නමුත් යම් දෙයක් මට කියන්නට පුළුවනි. මා තුළ වචනයෙන් කිව නොහැකි අමුතු අලෞකික සතුටක් තියෙනවා. ඒ තුළ කිසි ඇලීමක් ගැටීමක් නැහැ. රැවටීමකුත් නැහැ. හැම දෙයින්ම නිදහස් වූ බවක් මං අත්විඳිනවා.
මහරජ්ජුරුවන් වහන්ස, හරි අසිරිමත්! ඔබවහන්සේගේ මුවින් පිටවන්නේ රජ කෙනෙකුගේ කතාවක් නම් නොවෙයි. පච්චේකබුද්ධ නම් වූ ශ‍්‍රමණයන් වහන්සේලා ගැන අප අසා තිබෙනවා. උන්වහන්සේලා කරුණු විස්තර කරන්නේ ඔය ආකාරයෙනුයි. ඉතින් ඔබවහන්සේ තුළ එවැනි පරිවර්තනයක් ඇතිවූයේ කෙසේද? තවම ඔබවහන්සේ රජ කෙනෙක්! ඔබවහන්සේ කෙස් රැවුල් බා ගත්, කසාවත් පොරවා ගත්, ශ‍්‍රමණයෙක් නොවෙයි.
එතකොට රාජවේශයෙන් සිටි එතුමා හිස අතගා බැලූවා. වස්ත‍්‍ර දෙස බැලූවා. එසැණින්ම ඒ කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත‍්‍ර වෙනුවට කසාවත් ඇඟ දැවටුණා. පාත‍්‍රයක් අතට ලැබුණා. එවිට ඇමතිවරු වැඳ වැටුණා.
අනේ ඔබවහන්සේ අප අත්හැර වඩිනා සේක්ද?”
එවිට පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.
චාතුද්දිසෝ අප්පටිඝෝ ච හෝති
සන්තුස්සමානෝ ඉතරීතරේන
පරිස්සයානං සහිතා අඡම්භී
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ
සතර දිශාවටම මා මෙත් සිත පතුරුවන නිසා කිසිම ගැටීමක් කොහෙන්වත් ඇතිවන්නේ නෑ. මා තුළ මෙත් සිත පැතිරවීම නිසා හටගත් විරාගී සතුටක් තියෙනවා. මට ලැබෙන ඕනෑම දේකින් යැපෙන්න පුළුවනි. මගේ සිත කය වචනය යන තිදොරින් භයක් හටගන්නේ නෑ. තැති ගැනීමක් හටගන්නෙ නෑ. බාහිර අරමුණු තුළිනුත් දැන් මා තුළ භයක්, තැතිගැනීමක් හටගන්නෙ නෑ. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.
සාදු! සාදු!! සාදු!!!
 මතු සම්බන්ධයි 

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්රචිත අසිරිමත් පසේබුදුපෙළහර නම්
වූ පොත්වහන්සේගෙන්උපුටුගන්නා ලදී 


No comments:

Post a Comment

භාවනාවේ මුලික කරුණු

01. භාවනාවේ මූලික කරුණු භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන...